කියවීම පිස්සුවක් කරගත් පින්බර ජාතියක වාර්ෂික සුහද හමුව…

දවස නම් සෙනසුරාදා. සෙනසුරාදා මම ගත කරන්නේ ඉතින් සුපුරුදු විදිහට ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය නැත්නම් දන්න විදිහට කිව්වොත් NIBM ආයතනයේ. හවස හතරේ කණිසම පොඩ්ඩක් පන්නපු ගුරුතුමා පන්තිය හමාර කරන්නට සැරසුනේ එළඹෙන සතිය සුබදායී වෙන්න කියලා පතන ගමන්මයි. ඔක්කොම කට්ටිය හෙමින් හෙමින් විසිරිලා නොපෙනී යන්නට ගතවුනේ කෙටි කාළයක්. මමයි මගේ අනිත් සගයන් තුන් දෙනයි අපේ කණ්ඩායමේ යෙහෙළියෝ කීපදෙනෙකුයි විජේරාම හන්දිය හරියට හෙමිහිට ඇවිද ගෙන ආවේ “එසයින්මන්ට්” එක ගැන විස්තර කතා කරන ගමනුයි.

කට්ටිය එක්ක කතා කරන්න තියන ඕන කම හින්දම මම ගොඩක් වෙලාවට පන්ති යන්නේ බස් එකේ. එසයින්මන්ට් ඉතින් වාහන එලවන ගමන් කරන්න පුලුවන් කමක් නැහැනේ. ඉතින් අපි ඔය විදිහට විජේරාම හන්දියට ආවේ කතාකරන ගමන් චොකලටුත් කන ගමන්මයි. ආ කියන්න බැරි වුනානේ චොකලට් කොහෙන්ද ලැබුනේ කියලා. අපේ කන්ඩායමේ ඉන්න එක යෙහෙළියෙකුගේ තාත්තා රට ඉඳන් එද්දි ගෙනාපුවා.

ඉතින් කට්ටිය හන්දියට ආවට පස්සේ වම දකුණ මාරුවෙලා වගේ එක එක පැතිවලට කැරකි කැරකි කතාව මෙලෝ සිහියක් නැතුව. එක පාරටම අපේ කට්ටිය අතරින් එක් අයෙක් අපි බී.එම්.අයි.සී.එච්. යමු කියලා යෝජනා කරේ නොහිතපු විදිහටයි. මොකද බී.එම්.අයි.සී.එච්. යන්නේ? මොනවද අද ඒකේ තියෙන්නේ කියලා තවත් එක්කෙනෙක් පෙරලා විමසන්නට වුනා. “අද තියෙනවා හොඳ ප්‍රදර්ශනයක් මොකද කියන්නේ කට්ටියම යමුද?” කියලා යෝජනාවක් මතු වුනා. “හරි අවුලක් නැහැ එහෙනම් යමුකෝ” කියලා කට්ටියම ඉදිරියට ඇදෙන්නට පටන්ගත්තා.

ටික දුරක් ඉදිරියට ඇදෙන කොට “දෙබරෙට ගල් ගැහුවම” වගේ ඇවිස්සුන සෙනඟක් දකින්නට ලැබුනා. පිවිසුම් දොරටුව තුල අධික තද බදයක් පැවතුනේ අපි හැමෝටම පුදුමයකුත් ජනිත කරමිනුයි. “ආ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නේද?” කියලා කට්ටියම එක පාරටම කතා වෙන්න පටන් ගත්තා.

දකින ඇසකට ප්‍රිය උපදවන, සිතන සිතකට සහනයක් ගෙනදෙන, තමන්ට රට වෙනුවෙන් ආඩම්බරයක් ඇති කරවන ඒ පින්බර පොත් දැක්ම ගැනයි මේ සටහන. ඉතින් ටිකට් පත් කීපයක් ගත් අපිට ඇතුලට යන්න ලැබුනේ සියුම් යුද්ධයක් කිරීමෙන් අනතුරුවයි. පොත් කිව්වම අපේ අයට පිස්සුවක් වගේ කියලයි එතනට ඇතුලුවෙන ඕනෑම කෙනෙක්ට හැඟී යන්නේ. ගොඩාක් පිස්සු විනාශකාරී වුනත් මේ පිස්සුවනම් අඩු වැඩි වශයෙන් හැම කෙනෙක්ම හදා ගත යුතුම එකක්.

ඉතින් අපි හෙමින් හෙමින් ශාලාව ඇතුලට ඇතුලු වුනේ සෙනඟ ගඟ යාන්තම් පීරාගෙනයි. ඇතුලුවුන තැන ඉඳන් එක දිගටම කොටු කරපු පොත් කඩ. මොකට යනවද මොකෙන් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැරි වුන අපි හෙමින් හෙමින් පොත් කඩ කීපයකට ඇතුලු වුනා. හිසේ කෙස්ගානට පොත් “මගෙ අම්මේ ඔක්කොම ගන්න හිතෙනවා දැක්කම”. ඒත් ඉතින් දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම එක පාරට බදා ගත්තොත් එකක් වත් ගන්න වෙන්නෙ නැති හින්දා “අපි අද ටිකක් ඇවිදලා යමු ලබන සතියෙ ගමු” කියලා ඔක්කොමල්ලා තීරණයකට එළඹුනා.

ඉතින් පුරා පැය කීපයක් අපි පොත් අතරේ, පොත් රසිකයන්ගේ අතරේ ඔබ මොබ ඇවිද්දේ කියන්නට බැරි තරම් සන්තෝසයකිනුයි. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විතව ඉතා හොඳින් සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශනය ඇත්තටම අප රට සතු සම්පතක් කියලා හැම සිතකම හැඟී යනවා නොඅනුමානයි.

බාල, තරුණ, වැඩිහිටි කියලා භේදයකින් තොරව හරි හරියට පොත් තේරීමෙහි නිරතව සිටි පිරිස දෙස බැලුවම අනාගතය ගැන සිනහ පහල කරන්නට පහසුවෙන්ම හැකියාවක් ලැබෙනවා. කුඩා ළමයි පාසැල් පොත් තෝරද්දී තරුණයන් නවකතා කෙටිකතා සාහිත්‍ය විචාර ආදිය තෝරනවා. ඔය අතරේ වැඩිහිටි අය බොදු පොත පත අරගෙන එහෙට මෙහෙට පෙරලමින් පිටු අතරේ සිය දුරුවල නෙත් ඔබ මොබ ගෙනයනවා.

ඇත්තටම පුදුම සතුටක් තමයි හිත ඇතුලේ මෝදු වෙන්නේ. මෙවන් අගනා ප්‍රදර්ශනයක් මම නම් දකින්නේ යුගයේ අවශ්‍යතාවයක් වගේම අනාගතයට රන් දොරටු විවර කිරීමක් විදිහටයි. ටිකෙන් ටික අඳුරෙන් වටපිටාව වෙළාගනිද්දී අපි ගෙවල් වලට යන්න සැරසුනේ පැමිනෙන සතියේදී නැවතත් පොත් ගන්නට යන්න කතිකා කරගනිමිනුයි. කියපු විදිහටම අපි නැවතත් ප්‍රධර්ශනයට ගිහින් අපිට අවැසි පොත් කීපයක්ම මිලදී ගත්තා.

මිනිසා සම්පූර්ණ අයෙකු කරනට කියවීමේ වැදගත්කම කොතරම් බලපාන්නේදැයි එතැනට ගිය හැම කෙනෙකුටම සිතෙන්නට ඇතුවාට කිසිම සැකයක් නැහැ. ඇත්තටම එහෙම බැලුවම මෙය වාර්ෂික සුහද හමුවක්ම තමයි, එහෙම නේද?

තරුණ පරපුර සහ අධ්‍යාපනික උන්මාදය..

ටික කාලයක් තිස්සේ පැවති නිහැඬියාවකට පස්සේ, ඕං ආයෙමත් මම ලියන දෙවෙනි සටහන. කල්පනා තුලින් මම ඇති කරගත් සහෘද පිරිස ටිකෙන් ටික මා වෙතින් ඈත් වන හැඩක් නම් පෙනෙන්නට තිබුනත් ඔවුන් කිසිදිනෙක මගේ සටහනක් නොකියවා නොයනු ඇතියි කියලා මට විස්වාසයි. ගොඩාක් කාර්ය බහුල ජීවිතයකට කොටුවෙලා ඉඳීම තුල ම සිංහල යතුරු පුවරුව පවා දැන් අමතකවෙලා ගිහින්. ඒ දේවල් කොහොම වුනත් මගේ සහෝදර සහෝදරියන් ගොන්න නම් ලේසියෙන් අමතක කරන්න බැහැ.

ඉතින් මම මගේ සටහනට පුංචි පූර්විකාවක් විදිහට මේ වගේ කියමනක් උපුටා ගන්නම්. “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” කියලා කියමනක් අපි අහලා තියෙනවනේ. ඉතින් ඒ තුලින් කියවෙන්නේ අද උගත් දේ තුලින් හෙට දවස යහපත් එකක් කරගන්නට පිටුවහලක් ලැබෙන බවයි. අද සමාජයට මෙම කියමන කොයිතාක් දුරකට අදාල කරගන්න පුලුවන්ද යන වග දෙවරක් සොයා බැලිය යුතු කාරණයක්.

මට මේ දේවල් ගැන ලියන්නට ඔලුවට එකපාරටම අදහසක් ආවේ පසුගිය දින කීපය තුල අත්විඳි අත්දැකීමක් ගැන මෙනෙහි වෙච්ච නිසාමයි. මම ජීවිතයේ සතුටු වන කාරණා අතර එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව නම් මට ආදි නාලන්දයීයයෙක් වෙන්නට ලැබීම ගැනයි. ඉතින් මේ කියන්න යන කාරණාවත් පසුගිය දින කීපය තුල නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද අධ්‍යාපනික ප්‍රදර්ශනය පිලිබඳවයි. http://www.futureminds.lk/

ජාතියේ ඉගනීමේ පිපාසය කෙතරම්ද කියන කාරණාව බොහොම පැහැදිලිව පසක් කර ගන්නට එතනට ගිය ඕනෑම කෙනෙක්ට හැකිවන්නට ඇතැයි මම තරයේම සිතන කාරණයක්. මක් නිසාද කිව්වොත් දෙමව්පියන් මිතුරු මිතුරියන් පිරිවරාගෙන වැල නොකැඩී ඇදී ආපු ඒ ජන ගඟින් ඒ බව මනාව ඔප්පු වුනු නිසයි.

ඔවුන් දිහා පැත්තකට වී බලා ඉන්නට මගේ සිත තුලින්ම මතුවුනු කැමැත්ත මෙතෙකැයි කියන්නට බැරි තරම්. ඔවුන් විටෙක දැනුම සොයා යන උන්මත්තකයන් පිරිසක් ලෙසින්ද හඳුන්වා දෙන්නට පුලුවන්. මේ ඇදී එන්නේ ලාංකික අනාගතයේ සාඩම්බර කොටස්කාරයින් සමූහයක් නේද යන කාරණය මට වඩ වඩාත් පසක් වූයේ ඔවුන් ගේ දෑස් තුලවූ බලාපොරොත්තු එතරම් ම පැහැදිලි ව පිටතට පිලිඹිඹු වූ නිසාමයි.

ඒ දේවල් ඒ විදිහට සිත්හි රඳවගන්න ගමන් ම නූතන අධ්‍යාපන රටාව ගැන මම මේ විදිහට පිවිසුමකට එන්නම්.

අද කාලේ පහ වසරට පාස්වෙන දරුවෙක් බැරිවෙලාවත් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, බොහෝ වෙලාවට අපි තුල උත්තර නැති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි කියන කාරණාවට ඔයා මං එක්ක එකඟ වෙයි. පැරණි නිර්දේශයට අනුව නම් 11 වසර සිසුන් ඉගෙන ගත්ත දේවල් දැන් දැන් 8 වසර මට්ටමට ගෙනැවිත් තියෙන හින්දම පාසලෙන් නික්මෙන දරුවෙක් දැනුමෙන් ඉහල නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.

හැබැයි හැම දේකම හොඳ පැත්තක් වගේම අපිට නොපෙනෙන නරක පැත්තකුත් නැතුව ම නෙවෙයිනෙ නේද? මේ විදිහට විශාල දැනුම් සම්භාරයක් දරුවන්ගේ හිස් මත තැබීමෙන් ඇතැම් වෙලාවට ඔවුන් තුල ඇතිවන්නේ යාන්ත්‍රික බවක් වෙන්නට පුලුවන්. ඇතැම් වෙලාවට උකහා ගැනීමේ ශක්තිය, සිතීමේ / තීරණ ගැනීමේ ශක්තිය වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී පවා ඔවුන් දුරුවල වීමේ අවදානමක් මෙ මඟින් පෙන්නුම් කරනවා.

අනිත් බරපතලම කාරණාව වන්නේ දරුවන්ගේ බර දෙමව්පියනුත් හරි හරියට ඇදීමයි. පාසල් යන දරුවෙක් ඉන්න පවුලක දෙමව්පියන්, දරුවා හා සමානවම හෝ ඊට අඩු වැඩි වශයෙන් විෂය කාරණා පාඩම් කිරීම සුලභ කාරණයක්. මම දකින විදිහට නම් මේ තත්ත්වය මෑත කාලීනව වඩ වඩාත් ජනප්‍රිය වූවක් බව කියන්නට පුලුවන්. වාර විභාග පවත් වන දවස් වලට කන්තෝරු බහුල ලෙස පාලුවට ගිය ස්වභාවයක් ඉසිලීමත් මේ නිසා සිදුවන්නක්.

ඇතැම් වෙලාවට මේ දේවල් ගැන ඔයාටත් පෞද්ගලික අත්දැකීම් ඇති. කොහොම වුනත් සමාජය හැඩ ගැසෙන විදිහට අපිත් හැඩ ගැසෙන තත්ත්වය අප කාටත් පොදුවූ දෙයක්. මගේ මතයට අනුව නම් නූතන දරුවා දැනුම අතින් පරිපූර්න පුරවැසියෙක් කරන අතරම ඔහුව පසෙකින් ඉඳන් දක්කන විට පමණක් පාඩම් වැඩ කරන රොබෝ වරයකු නොකිරීමටද අපි සැම විටම වගබලා ගත යුතුයි.

සම්මතය පසෙක ලූ (අ)සම්මත ජීවිත…..

එදා අගෝස්තු මාසෙ පස් වෙනිදා..සෙංකඩගල ඇසළ මහෝත්සවයේ අති රමණීය ම අංගය වන අවසන් රන්දෝලි පෙරහැර යෙදී තිබුනෙත් එදාටමයි. ඊට පෙර දින දෙක පුරාවට ම මම ගතකලේ කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වෙමිනුයි. සෙංකඩගල ඇසළ පෙරහැරේ අසිරිය දැක බලාගන්නට හිත ඇතුලේ තිබුනු ආසාව නිසාම, පසුදින මහනුවර බලා යන්නට හදිසියේ ම තීරණය කලේ ගෙදර කිසිවකු නොහිතපු ලෙසකටයි. ඒ අය මුලින් එක එක දේවල් පැවසුවත් අවසානයේ දී මට කැමති තීරණයක් ගන්නට ඉඩ දී නිහඬවී බලා සිටියා.

ඔන්න ඔය විදිහට තමයි මම මහනුවර යන්න අවස්ථාව උදා කර ගත්තේ.:)

මහනුවර යන විදිහ ගැන කතා කරන හැමවිට ම වගේ අපේ මුවගට එන්නේ එක වචනයක්. ඒ වෙනකක් නොව “කෝච්චියෙන්” යන්නට වන බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. එහෙම නේද? ඉතින් ඔය විදිහට මමත් කොටුව දුම්රිය ස්ථානයට පියමං කලේ දහවල් 12.40ට මහනුවර බලා යන කෝච්චියට නගින්න හිතාගෙන. එදා මහනුවරට සුවිශේෂ දවසක් වුනු නිසා ම කෝච්චියේ ඉඳගන්නට ඉඩක් නම් ඉතින් හොයා ගන්නට නොහැකි වුනා. ඉතින් මක් කරන්නද? මමත් හරියටම කෝච්චියේ මැද හරියේ තිබුන පෙට්ටියකට ගොඩවුනේ දොර අයිනෙ හිටගෙන හරි යනවා කියලා හිතාගෙන.

ඔන්න ඉතින් අවට සිටින සියලු දෙනා කෝච්චි පෙට්ටි වලට ගාල් කරන අදහසකින් වගේ, කෝච්චිය මහනුවර හා හැටන් බලා පිටත්වෙන බවට වන නිවේදනය භාෂා තුනෙන් ම දැනුම් දෙන්නට වුනා. නිවේදනය ඇසුන ගමන් ම පදිකවේදිකාව මත හිටපු අය එකිනෙකා පොරකමින් කෝච්චි පෙට්ටි වලට ගොඩ වෙන්නට පටන් ගත්තේ හරියට කූඹි ගුලක් ඇවිස්සුන මොහොතක විලසටයි. ඒ විදිහට මම හිටපු පෙට්ටියටත් තරුණයන් කීපදෙනෙක් ඇවිත් ගොඩවුනේ ඇතුල්වෙන පිටවෙන ස්ථානය පවා මුලුමනින් ම වසාගෙන සිටින පරිද්දෙන්.

ඔය අතරේ මඳකට වෙනස් කීපදෙනෙක් හඳුනාගත හැකිවුනත් ඒ අය අතරෙනුත් දෙන්නෙක් සුවිශේෂ වුනා. සමහර වෙලාවට ඔයා හිතනවා ඇති මොකක් ගැන කියන්නද මම මෙතරම් දුරක් යන්නේ කියලා. ඇත්තෙන් ම ඉහත සඳහන් කල පුද්ගලයින් දෙදෙනා නිසා ම තමයි මම මේ සටහන ලියන එක කාලෝචිතයි කියලා තීරණයකට එළඹුනේ.

තවත් ඉතින් අටුවා ටීකා මොකටද මම සටහනට මෙහෙම ප්‍රවේශයක් ගන්නම්, කවර ස්ථානයකදී හරි ඔබ තරුණයෙක් සමඟ තරුණියක් සමීපව සිටිනවා දැකීමෙන් පුදුමයට පත්වෙනවාද? කොහෙත් ම නැහැ නේද? ඒ මක් නිසාද කිව්වොත් ඒ දේ තුල අස්වාභාවිකත්වයක් නොදකින නිසා වෙන්න පුලුවන් නේද? නමුත් තරුණයන් ම දෙදෙනෙක් එකි නෙකාට අතීශය සමීපව සිටිනවා දැකීම මට වගේ ම ඔබටත් සෑහෙන තරමක නුහුරු අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

ඉතින් මම මෙපමණ දුරක් මේ සටහන රැගෙන ආවේ සමාජයේ සිටින සම්මත නොවූ ඒක පාර්ශවික ආදරවන්තයන් වන සමලිංගිකයන් ගැන මගේ කෝණයෙන් දුටු ආකාරය ගැන සටහනක් ඔබ හමුවට ගෙනෙන්නටයි.

ඉතින් කෝච්චිය ඉදිරියට ඇදෙන්නට වුන හේතුවෙන් මම අසල තිබුනු බාරයක එල්ලුනේ එළියට විසිවෙයි කියන බය සිත තුල පැල පදියම් ව තිබූ නිසාමයි. ඉතින් ඔය අතරේ හැමෝටම දැනෙන විදිහට එකිනෙකා හා වෙලී සිටි තරුණයන් දෙදෙනා දෙසත් කාගේත් නෙත් ටිකෙන් ටික යොමු වෙන්නට වුනා. ඔවුන් ඔවුන්ගේ ලෝකයක අතරමං වී සිටි හේතුවෙන්ද කොහෙද අවට ජනතාව තමන් දෙස බලන බව ඔවුන් ට වැටහුනේ නැතුව ඇතැයි මට හැඟී ගියේ මගේ සිත තුල මහත් ලැජ්ජාවක් වගේ ම හිරිකිතයක් ද ඇති කරමින්.

“මුන්ට අම්මපා ලැජ්ජාවක් නැති හැටි” කියලා හිත යටින් බනින ගමන් මම අහක බලා ගත්තේ විශාල වෛරයක් ද සිත තුල තෙරප ගනිමින්මයි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සුදු හීන්දෑරි පුද්ගලයෙක් වූ අතර අනෙකා තලෙලු තරමක් උසෙන් අඩු පුද්ගලයෙක් වුනා. ඔවුන් දෙදෙනා තුලත් ගැහැණු චරිතයක් වගේ ම පිරිමි චරිතයකුත් වෙන් වෙන්ව හඳුනා ගත හැකිවූ අතර භාව ප්‍රකාශණ, අංග චලන මඟින් සිය අදහස් එකිනෙකා අතර බෙදා ගැනීමකුත් දක්නට ලැබුනා. මේ විදිහට මේ නිර්ලජ්ජී තරුණයන් දෙදෙනාගේ රැඟුමන් එන්න එන්නම උත්සන්න වෙන්නට පටන්ගත්තේ බොහෝ අය තුල කෝපය වඩ වඩාත් උග්‍රකරමිනුයි.

කොහොම වුනත් මේ රංගනය මීරිගම දුම්රිය ස්ථානය දක්වා එක දිගටම පැවතී අවසානයක් දුටුවේ කාගේත් සිත් තුල සැහැල්ලුවක් ඇතිකරමිනුයි. මෙවන් අසම්මත අස්වාභාවික ක්‍රියා ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිවිටෙක අනුමත නොකරන දේවල් වන අතර ම, මෙවන් අය මව්වරුන්ගේ උතුම් වූ කුසයන් තුලින් බිහිවූ අයමදැයි සැකයක් සිත තුල ඉතිරි කරයි.

ඔවුන් තුලින් ඉදිරිපත් කෙරුණු හිරිකිත රංගනය දෙස බලාසිටි ජනතාව කෙතරම් ඒ දේ අප්‍රිය කරේද යන වග තුලින් අප තුල ඉතිරිව ඇති සාරධර්ම ගැන සුබවාදී පැත්තක් පිළිඹිඹු වුනු හැටි සතුටට කරුණක්.

විදෙස් තුල සුලභ මෙවන් විසම ක්‍රියා හැකිතරම් අපේ පුංචි දිවයින තුල ව්‍යාප්ත නොවන තැනකට වග බලා ගැනීමට ඔබට මට වගේම මුලු සමාජයට ම ඇත්තේ විශාල වගකීමක්, එහෙම නේද? අපි සැම නොපිරිහෙලා ඒ වගකීම ඉටුකරමු!

ගාන්ධි තුමන්ගේ අතීතය වෙන්දේසි කිරීම

නැවතත් වතාවක් සටහනකින් මුණගැහෙන්න ලැබීම ඉතින් මොනතරම් වටින කාරණයක්ද. මේ සටහන ලියන්න තරම් සිතින් දුකට පත් වෙන්න සිදුවීම නම් තරමක අමිහිරි අත්දැකීමක්. කොහොම වුනත් මම මේ කියන්නට යන කාරණය නම් ලෝක අතීතය ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙකුටම වඩාත් සමීප, ඒ වගේම වැදගත් කරුණක් වනවාට කිසිම සැකයක් නැතිතරම්.

පසුගිය දිනෙක මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු මහා වෙන්දේසියක  තොරතුරු පාදක කරගනිමිනුයි මම මේ සටහනට ප්‍රවේශයක් ලබා ගන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුනු මෙම වෙන්දේසියේ තිබූ භාණ්ඩ අතර, මගේ අවදානය ඇද ගැනීමට සමත් වූ පුදුම සහගත භාණ්ඩ කීපයකුත් අතරින් පතර දකින්නට ලැබුනා.

“මේවා කොහොමද මෙතනට ආවේ” යනුවෙන් මගේ මුවින් වදනක් පිටවුනේ මටම නොදැනීමයි. නිදහස් ඉන්දියාවේ පියා ලෙස සලකන ඒ උත්තරීතර මහත්මා ගාන්ධි තුමන් පරිහරණය කල භාණ්ඩ වලින් බොහෝ වැදගත්වූ භාණ්ඩ කීපයක්ම මේ වෙන්දේසිය සඳහා ඇතුලත්ව තිබුනා. මේ දේවල් මොන ආකාරයකට වෙන්දේසියකට ඇතුලත් වුනේද කියා නිසි වැටහීමක් මට නොතිබුණත්, රටකට නිදහස ලබාදුන් පියෙකු පරිහරණය කල භාණ්ඩ තම මවමෙන් රැක ගැනීම එතුමන්ට දක්වන්නට හැකි ඉහලම ගෞරවය ලෙසයි මගේ හැඟීම.

මීට නොබෝ දිනකට ප්‍රථම ලැබුණු ඉන්දීය සංචාරයක අතරතුරදී,  මුම්බායි නුවර පිහිටි ගාන්ධි තුමන්ගේ නිවස නැතිනම් ආශ්‍රමය නැරඹීමට මට අවස්ථාවක් ලැබුණි. එහිදී දැනගන්නට ලැබුණු කරුණු අනුව එතුමන් එංගලන්තයේ බැරිස්ටර් උපාධියක් පවා තිබියදීත්, තම මව්බිම වෙනුවෙන් ඒ හැමදෙයක්ම කැපකරමින් පිරිසිදු නිදහසක් ලබා දීමට දැඩි ලෙස අරගල කර තිබුණි.

එතරම් විශාල මෙහෙයක් කල උත්තමයකුට ඉතා උත්තරීතර ලෙස සැලකිය යුතුය යනවග ඉන්දීයයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ. ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක වටිනාකමක් මෙම භාණ්ඩ සඳහා නියමවී තිබුණා. කොහොම නමුත් වෙන්දේසියේදී එම භාණ්ඩ මිළදීගෙන නැවත සිය රටට භාර දීමට කටයුතු කල විජේ මලයා නම් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට අප හැමගේ ස්තූතිය ප්‍රණාමය පුදකල යුතුමයි.

තමන් උපන් රටට ජාතියට ආගමට වගේම තමන්ට නිදහස දිනාදුන් වීරවරයින්ටද ආදරය ගෞරවය නොඅඩුව දැක්වීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් ලෙසයි මගේ හැඟීම.