වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම

මගේ මිතුරු මිතුරියන් මාත් එක්ක දිගටම ඉන්න එක මට ලොකු ශක්තියක් කිව්වොත් නිවැරදියි. ගතවුනු දින සියල්ලම පාහේ ගතවුනේ හරිම සැහැල්ලුවෙන් නම් නෙවෙයි. විභාග අධ්‍යාපන කටයුතු හැරුණම විවිධ දේවල් ජීවිතයට ආවේ හරියට සුළි සුළඟක් විදිහට කිව්වොත් ඒකේ සැබෑවක් නැත්තෙම නැති තරම්. ඒත් ජීවිතය සරලව ගතකරන්න තියනවනම් කොපමන අගේද කියලත් හිතෙනවා වෙලාවකට. කොහොම වුනත් මට “කල්පනා” ලියන එක අතපහු වුන එක මම දකින්නේ මගේ දුරුවල කමක් විදිහටයි. මට මගේ සටහන් එක්ක මගේ සහෘදයන් එක්ක හැමදාම ඉන්න තිබුනනම් තමයි හිතට සතුටක් වගේම තෘප්තියකුත් ඇතිවෙන්නේ.

කොහොම වුනත් මම ඔන්න මගේ පනස් පස් වෙනි සටහනට මේ විදිහට පිවිසුමක් ලබාගන්නම්. “වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” කිව්වහම ඔයාට හැඟෙන්නේ මොන විදිහෙ හැඟීමක්ද? වරක් ආවොත් දිගටම එන දේවල් ගැන ඔබ දන්නේ මොනවද කියලා මඳකට හිතන්න. හරි අපි මෙහෙම හිතමු, මෝසම් වර්ෂාව ගැන හිතමු. වරක් ආවහම අපි කියන්නේ වස්සානේ ආවා කියලනේ. මේ වස්සානයයි කියලා කියමින් ඒ වටා ගෙතුණු සෞන්දර්ය්‍යාත්මක කාරණා ගොන්නක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම වසන්ත කාලය තවත් උදාහරණයක්. “මේ… ප්‍රථම වසන්තයයි” ඒ විදිහට වසන්තය ගැන කියවෙන මගේ සිත්ගත් ගීතයක් මතකෙට එනවා. ඔය විදිහට විවිධ පැති ඔස්සේ “වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” ගැන කතා කරන්න පුලුවන්. ඒ දේවල් ගැන විවිධ පැතිවලින් විවිධ ආකාර වලට කතා කරතත් මම අදහස් කරපු කාරණය මේ දේවල් වලට මඳක් වෙනස් මුහුණුවරක් ගන්නවා කිව්වොත් හරි.

සිතක උපදින සිතුවිලි යමක් අයිති කරගැනීම දක්වා දිවයන අවස්ථා අපි හැමෝගෙම ජීවිතවලට පොදුවුනු කරුණක්. සිතුවිල්ලක ගැබ්වී ඇති යම් අවශ්‍යතාවයක් සපුරා ගන්නට අපි දරණ උත්සාහ අපමණයි. ඒ ගැන මම මේ විදිහට විස්තර කරන්නම්. හිතන්න ඔයාට ජංගම දුරකථනයක් අලුතෙන් ම මිලදී ගන්න, නැත්නම් දැනට පාවිච්චි කරන එක වෙනුවට අලුත් එකක් ගන්න ඕන කරලා තියනවා කියලා. ඒ සිතුවිල්ල හිතට ආපු දා ඉඳන්ම ඔයාට හිතෙන්නෙත් ඒ දේ ගැනමයි. හොයන්නෙත් පත්තර පෙරලගෙන ජංගම දුරකථන මයි. හීනෙන් දකින්නෙත් ජංගම දුරකථන මයි. කොටින්ම කියනව නම් ජීවත් වෙන්නේ ජංගම දුරකථනයක් ගන්න බලාපොරොත්තුවට මුල් තැන දෙමින් මයි. ටිකක් හිතලා බලන්න ඒක එහෙමයි නේද කියලා.

ඉතින් ඔය විදිහට බැලුම් බලලා තමන්ගේ කාලය ගතකරලා සිය අවශ්‍යතාවය කොහොමහරි සපුරාගන්න එකනේ සාමාන්‍ය කාරණාව. ඔන්න තමන් කැමති ජංගම දුරකථනය මිලදී ගත්තා කියමු. ඒ මිලදී ගත්ත මොහොතේ පටන් දිගින් දිගටම හමුවෙන අය ළඟත් ඒ වර්ගයේ ජංගම දුරකථන තිබෙනවද කියලා බලන එක තමන්ටම නොදැනී සිදුවෙන දෙයක්.

මම මෙතනදී අදහස් කරේ ඒ විදිහේ කාරණාවක්. මම වාහනයක් ගන්න තාක්කල්, ඒ වාහනයේ වර්ගයේම වාහන පාරෙදී කොතරම් මුණ ගැසුනත් ඒ ගැන විශේෂත්වයක් හිතේ ඉපදුනේ නැති තරම්. ඒ වුනත් වාහනය ගත්තදා ඉඳන් පාරෙදී ඕනෑකමින් බලන්නේ, ඒ වගේම මුණගැසෙන්නේ ඒ වර්ගයේ වාහනමයි. පෙරදීට වඩා වැඩිවුණු උනන්දුවක් හිතේ ඇතිවෙලා තියෙන වග පැහැදිලියි නේද?

ඒ දේ පාදක කරගෙන තමයි මම “වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” යන්න ගැන යමක් ලියන්නට අදහස් කරේ. හිතේ උපදින සිතුවිලි තමන්ව කොතරම් දුර අරගෙන යනවද කියන එක පැහැදිලියි නේද? යමක් අපේ ජීවිතයට සම්බන්ධ නොවෙනතාක් අපේ අවධානය ඒ දේ වෙත යොමුවීම අඩු වුනත්, ඒ දේ ජීවිතයට ආ දා ඉඳන් අපේ අවධානය වැඩියෙන්ම ඒ දෙය වෙතට යොමුවෙන එක හරිම පුදුම දෙයක් නේද?

“වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” සිදුවෙන්නට පටන්ගන්නෙත් එතැන් පටන් මයි.

සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.

මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම දෙයක්ම පරදමින් අඳුර මුලු නගරයම ගිලගනිමින් තමයි තිබුණේ. ආ… අමතක වුනානේ මම කිරිබත්ගොඩ තකහනියක්ම යන්න හේතුව මොකක්ද කියලා කියන්න. ඒක තමයි කිරිබත්ගොඩ තිබුණ තොරණ බලන්න හිතේ ඇතිවෙච්ච නොමඳ ආසාව. ඉතිං හතට ගියාට තොරණ විව්රුත කරන පාටක්නම් නැහැ. බැලින්නං විව්රුත කරන්නේ හතයි තිහට කියලා මනුස්සයෙක් කියනවා මට යාන්තමට වගේ ඇහුණා.

ඉතිං තව පැයබාගයක්ම තියෙනවනේ. හිටගෙන ඉන්නත් බයයි,මොකද හැමතැනම හිටපුගමන් බෝම්බ පුපුරණවනේ. කොහොමහරි කරන්න දෙයක් ගැන යන්න තැනක් ගැන හිත හිත ඉබේටම මාව ටිකදුරක් ඉදිරියට ඇදිලා ගියා. හැබැයි තොරණ් බලන්න ආවට මොකද මගේ අතේ සල්ලිත් යහමින් තිබුණා. ඉතිං ඔහොම මම ඉබේටම ඉදිරියට යන ගමන් පොඩි සද්දයකුත් දාගෙන මොනවහරි සේල් එකක් තියෙනවා දැක්කා. ටිකක් ලංවෙලා විපරම් කරලා බැලින්නං පොත් සල්පිලක්. සෙනගත් ටිකක් නොහිටියාම නෙවෙයි.

යන්න තැනක් හොය හොය හිටපු නිසාම මටත් හොඳ අවස්ථාවක් තමයි උදාවුණේ. මමත් ඔහොම ඇතුලුවුණා පොත් සල්පිලට. මුලින්ම මට රුසියන් අනුවාද ගොන්නක් දකින්නට ලැබුණා. මිනිස්සු කීපදෙනෙක් පොත් අතට අරගෙන පිටු එහා මෙහා කරමින් ඉන්නවා. මම ටිකක් ඉදිරියට යනකොට මට එක පොතක් හමුවුණා අහම්බෙන් වගේ. ඒ පොත ලියැවුනේ කතන්දරකරුවකුගේ සටහන් පාදක කරගෙන වීම මගේ හිත ඒ පොතට ඇදීයන්න හේතුවුණු එක් කාරණයක්. ටිකක් පොත අතට අරගෙන පිටිපස්ස පැත්තේ තිබුණ සටහන කියවලා බලන්න මම අමතක කරේ නැහැ.

එහි මේ විදිහට සරලව සටහන්වී තිබුන නිසාම, මට ඒ පොත අරගෙන කියවන්න ඇතිවුන ආසාව ටිකෙන් ටික වැඩිවුණා.

“කොළඹ නගරයට එතරම් ඈත නොවූ ගම් පියසක මේ කතන්දරකරුවා උපත ලැබී ය. ඉක්බිති ගෙවීගිය පනස් වසරකට අධික කාලය තුළ සිදු වූ දේ බොහෝ ය. කතන්දරකරුවා ඒ කාලය තුළ සිය ජීවිතය හා සම්බන්ධ සමහර සිද්ධි ආස්වාදයෙන් යුතුව සිහිපත් කරයි. එසේ ම නිර්මාණයන්ට පාදක වූ අත්දැකීම් ගැන පවසයි. සරල එහෙත් සිත් ගන්නා සුලු බස් වහරක් උපයෝගී කර ගනිමින් රචිත මේ සටහන් මාලාව පාඨකයාට අපූරු ආස්වාදයක් ලබා දීමට සමත් වනු නො අනුමාන ය.”

ඉතින් අතේ සල්ලි තිබුණ නිසා ම මම ඒ පොත අරගත්තා. අරගෙන සල්පිලෙන් එලියට එනකොට ඔන්න තොරණත් විව්රුත කරන්න යන වග දැනගන්නට ලැබුණා. පොතත් අතේ අරගෙනම තොරණ හොඳට පේන තැනකින් හිටගත්තා නිවිසැනසිල්ලේ බලන්න හිතාගෙන. ඒ විදිහට තොරණ බලලා ඉක්මනට ගෙදර ගියා පොත කියවන්න හිතාගෙන. ඉස්පාසුවක් නැහැ පොත කොහොමද කියලා දැනගන්නකං.

මම හිතන්නේ දැන්නං ඔයාට ඉස්පාසුවක් නැතුව ඇති ඒ පොත කාගැනද කියලා දැනගන්නකං නේද? හරි මම කියන්නං. ඒ පොත ලියලා තියෙන්නේ ඇරැව්වල නන්දිමිත්රයන් තමන්ගේ වසර පනහකට අධික මතකයන් ගොන්නක් එකට කැටි කරලා. හරිම සරල ආකාරයකට සරල බසකින් ලියැවිලා තියෙනවා ඔහුගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැන. මම පොත රසවිඳින ගමන්ම සම්පූර්ණයෙන් ම කියවලා ඉවර කරන්නට ගතකරේ බොහොම කෙටි කාලයක්.

ඉතාමත් රසවත් අතීත ආවර්ජනයක් විදිහට මම ඒ පොත දකින අතරෙම, ඔහුගේ පොත් ගැනත් පොඩි සටහනක් කරන්නට අමතක කරන්නේ නැහැ. ඔහුගේ නවකතා අතර “පියවතී සහ ඇගේ පුත්තු”, “ජීවිතයේ කොටස් කාරයෝ”, “මල්දෙණියේ සිමියොන්”, “මිහිසරණ”, “මල් මදාරා”, “සෙනෙහෙලතා මැණිකේ” වැනි නවකතා මම අදටත් ආසාවෙන් මතක් කරන්නේ ඒවා තුලදී හමුවූ චරිත වඩාත් තාත්වික වූ නිසාමය.

අවසාන වශයෙන් ඔහුගේ නාමය නිති වැජඹේවා කියා ප්රාර්ථනා කරමින් ම මම මගේ සටහනින් අදට මේ විදිහට සමුගන්නෙමි.

කාලෙකට පස්සේ…

ඔන්න දැන්තමයි පොඩිපහේ විවේකයක් ලැබුනේ යමක් සටහන් කරන්නට. ගතවුනු සති කීපයම විවිධ වැඩ වලට වෙන්වුන නිසා කිසිම දෙයක් සටහන් කරන්න බැරිවුනා. මම නොලිව්වත් හැම දවසකම වගේ ඇවිත් බලලා ගියා. මම එක්ක දිගටම හිටියට ඔයාට ස්තූතියි.

මම මගේම කියලා පොතක් එළිදක්වන බලාපොරොත්තුවෙන් ටික ටික ලියමින් ඉන්න කාරණයත් මේ නිහැඬියාවට එක හේතුවක්. ඒ වගේම ගතවුනු කාලය පුරාවටම exam තිබුන නිසා ඒවගේ වැඩවලට හිරවෙලා තමයි හිටියේ. තවත් හේතුවක් තමයි මේ දවස්වල මම අසීමිත විදිහට පොතපතට ඇබ්බැහි වෙලා සිටීම.
දැන්නම් ගොඩාක් ප්රශ්න ඉවරයි. ආයෙත් දිගටම ලියන්න පුලුවන් වීම මගේ හිතට ගෙනදෙන්නේ අප්රමාණ සතුටක්.

කාලෙකට පස්සේ මට මගේ පරණ මිතුරෙක් මුනගැසුණා. ඔහු දැකපු ගමන් මට හරිම සතුටක් වගේම විමතියකුත් ඇතිවුණා. ඒ මොකද කියනවනං ඔහු තමයි ඉස්සර අපේ පන්තියේ හිටපු පොඩිම ළමයා. දැන් ඔහුගේ ප්රමාණය ගත්තහම අප්රමාණයි. හරිම ලොකුයි. ඒ වගේම හරිම හොඳයි. මම ටිකක් ඔහු එක්ක කතාබහ කරද්දී මට කාරණා කීපයක් පසක් කරගන්න ලැබුණා. ඒත් මගේ හිත සසල වෙන කරුණකුත් ඔහු තුලින් මතුවී ආවා. ඒ දෙය තමයි ඔහුගේ දෙමව්පියන් අකාලයේ මියපරලොව ගිය කාරණාව.

ඒ කතාව ඇහුව පමණින්ම මගේ හදවත කම්පා වෙලා ගියා. මොකද ඒ යාලුවගේ දෙමව්පියන් මම පොඩිකාලේ ඉස්කෝලෙ ඇරුනම අම්මා එනකං මාව බලාගත්තේ කුරුලු දෙමව්පියන් තම පැටියෙක් රැකගන්නවාට නොදෙවෙනි විදිහකට. එයාලා මට කරපු උපකාර වලට කලගුණ සලකන්න මට යන්න නොලැබුණ එක නම් හිතට හරිම දුක් ගෙනදෙන්නක්.

ඉතිං මට හිතුනා ඒ දෙදෙනාට ප්රණාමය පුදකරන්න මේ පොඩි සටහනෙන් ඉඩක් වෙන්කරගන්න.

ඔබ දෙදෙන මට දෙවන මව් සහ පිය වූවා අදවගේ මතකයට නැගේ.
හදවතේ ඇතුලුපැත්තේ කැකෑරෙමින් නැගෙන කම්පාවේ ගිනිදැල්ලෙන් මා දැවීයන්නාසේ මට හැඟේ.
ජීවිතයෙන් ඔබ දෙපල සමුගනිද්දී මට අවසන් සුසුම් වල උණුසුම ලබනට පිනක්වූයේ නම් කෙතරම් අගනේද?
එබැවින් ඔබ දෙපලට මෙසේ මාගේ ප්රණාමය පුදකර සිටින්නේ හදපිරි බැතියෙණි.

නිහඬ බව බිඳ..

නිහඬ බව බිඳ..

පන්හිඳ නැවතත් ජීවය ලබයි

මඳක් කාර්යබහුලයි

හෙට සිට හමුවෙන්නට එන්නම්

මා එනතුරු ඔබ හිඳියි නම්

“මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ…”