මිහිතලය සතුන්ට හිමි නැත්ද?

දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන කතාව අද ඊයෙක ඉඳන් අපි අහන කතාවක් නෙවෙයිනේ. ඈත අතීතයේ ඉඳන්ම සත්තු දඩයම් කරන එක නිකං හරිම වීර, අපේ වචනෙන් කියනවනං “ජොලි” වැඩක් විදියටයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. කොටින්ම කියනවනං මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන වැඩම කරන වෙලාවෙත් දේවානම්පියතිස්ස රජතුමා හිටියේ මුවෙක් පස්සේ එලවන ගමන්නේ. ඉතින් මට වෙලාවකට හිතෙන දෙයක් තමයි අද අපි අහන දකින සතුන් දඩයම් කරුවනුයි දෙවානම්පියතිස්ස රජතුමයි අතර මොකක්හරි නෑකමක්වත් තියෙනවද කියන එක. :D

ඒ දේ කොහොමවුනත් රේඩියෝ එකේ මේ දවස්වල වැඩියෙන් කතාබහට ලක්වෙන සතුන් දඩයම් කිරීමක් ගැන වචනයක් දෙකක් ලියන්න ඕන කියලා හිතුවා. පහුගිය දවසක අහන්න ලැබුණු කතාබහක් තමයි මම ලියන්න පාදක කරගත්තේ.

“දැන ගියොත් කතරගම නොදැනගියොත් අතරමග” කියලා කියමනක් තියනවනේ. ඉතින් කියමන් කොච්චර කිව්වත්, ඇහුවත් අපි ඒවා නිකන්ම බැහැර කරනවා විනා ඒවගෙ එල්බගෙන ඉන්නවා අඩුයිනේ.

කොහොමහරි කතරගම පළාතේ වන්දනාවේ යන නඩ වලින් ගොඩක් දෙනෙක් යන තැනක් තමයි යාල ජාතික වනෝද්යානය. ඒ මොකද කතරගම යන පාරේ හමුවන නිසා වගේම, ලංකාවට ආවේනික සතුන් විශාල වශයෙන් ගැවසෙන වනෝද්යානයක් වීම නිසාත් තමයි. එහෙම ස්වභාවදර්මයට ආදරය කරන එක කොච්චර හොඳද? ඒත් ඒදේට මුවාවෙලා ස්වභාවදර්මය වනසන එකනම් කොහෙත්ම අනුමත කරන්න බැරි කාරණයක්. අද සීඝ්ර ලෙසට ඉහලයන දඩමස් පිපාසය නිසා යාල ජාතික වනෝද්යානය තුල සිටින මුවන් ගහනය සීඝ්ර ලෙසට පහල යන බව දන්නවද?
වන්දනාවේ යද්දී වගේම එද්දීත් දඩමස් හොයන්න, සල්ලිවලට ගන්න මිනිසුන් දක්වන කෑදරකම ඇත්තටම හරිම පිරිහීමක් නේද?

ලෝකයා හමුවේ යාල ජාතික වනෝද්යානය මහා ඉහලින් වර්ණනා කරත්, අද සතුන් බලන්න ගියොත් බොහෝවිට දකින්නට ඉන්නේ මීමින්නො රෑණක් නැත්තං මුවො ටිකදෙනෙක් විතරයි. අපි පොඩි දවස්වල දැකපු තරම් සත්තු ගොඩක් දැන් දකින්න ලැබෙන්නේ නැහැ. ඉහල තැන්වල රස හදන්න මුවෝ ගෝනු වගේ සතුන් බිලිවෙන එකගැන ගොඩාක් වනසත්ව නිලධාරීන් කතා කරත්, ඒ සතුන්ගේ ඉරණම තව තවත් අගාදයට වැටීම නම් හරිම කණගාටුදායකයි. ජාවාරම්කරුවන්ගේ ගොදුරකට සතුන් අහුවෙන්නේ වගකිවයුත්තන්ගේ අනුදැනුම මත වීම තවත් කණගාටු දනවන්නක්.

ඕනම රටක අතීත කතාවලදී, මිහිමත ජීවත්වුන ආදි මිනිසාගේද, හොඳම සගයන්, මගපෙන්වන්නන් වෙලා ඉඳලා තියෙන්නෙත් සත්තු තමයි. ඒ කාලේ තාක්ෂණය දියුණු නැතිව ඇඟට හරියට ඇඳුමක් නැතුව හිටපු නිසා ඕනම සතෙක් දඩයම් කරගෙන කන්න පෙළඹීලා තිබුනා. ඒකනේ දඩයම් යුගයක් පවා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. නමුත් ක්රම ක්රමයෙන් ශිෂ්ඨාචාර බිහිවීමත් සමඟ මිනිසා තුල තිබුන වනචාරී ගති නැතිවෙලා ගිහිල්ලා ශිෂ්ඨ ගති ලියලලා ආවා. ඊට පස්සේ ගොවිතැනට නැඹුරු වීමත් එක්කම දඩයමින් ටිකෙන් ටික ඈත්වුනා. මොකද පසුකාලීනව සතුන් වන්දනාව පවා පටන් ගත්තනෙ. ඉතින් අද ගැන හිතනකොට අපි ආයෙත් දඩයම් යුගයට ගිහිල්ලා වගේ තේරෙනවා නේද?

ඉතින් ඇයි අපිට බැරි ශිෂ්ඨ මිනිසුන් විදියට ඉදිරියටම යන්න. ඇයි අපිට හිතන්නබැරි සොබාදහම් නීතියට අනුව ජීවත් වෙන්න ඇති අයිතිය අපිට වගේම සත්තුන්ටත් පොදුයි කියලා. ඇයි අපි අහිංසක සත්ව ජීවිත බිලි අරගෙන අපේ මනදොල සංසිඳ ගන්නේ. ටිකක් හිතමු. දඩමස් අනුභවයෙන් අඩුතරමෙන් වැලකිලාවත් සත්ව දඩයම හෙලා දකිමු. ඒ වගේම සත්ව අංග වලින් සාදන නිර්මාණ, පළඳනා පළඳීමෙන් වැලකෙමු. සොබාදහමට ආදරය කරමු. එතකොට සොබාදහම පෙරලා අපට ආදරය කරන එක සිකුරුයි.

2 Responses to “මිහිතලය සතුන්ට හිමි නැත්ද?”

  1. හැබැයි මහත්තයො මම අහල තියෙන විදිහට දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන කතාවෙන් කියන්නෙ ඇත්තටම තලගඔයි මරන එක ගැන නම් නෙවේ නේද?
    ඒ කියන්නෙ දඹුල්ලෙ ඉන්නවා තල වගා කරන ගොවියො. ඒ උදවිය රවටල කුණු කොල්ලෙට තල මිලට ගැනීමට තමයි දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා කියන්නෙ.

  2. සමාවෙන්න. “තලගොයි මරාගෙන” කියන කොටසයි මට අවශ්ය වුනේ. ඇත්තටම වරද පෙන්වා දුන්නට වගේම මගේ කල්පනා කියවීම ගැනත් ඔබට වගේම සැමටම මගේ ස්තූතිය.

Leave a Reply