“කෑඳැති දරුවන් දෙතොලග පවස නිවූ අම්මා”
ඇතින් පෙනෙන කඳු පන්තියක දැවටුනු සිහින් වළාකුලක්. මන්දාරම දවස පුරාවටම රජකරන පාටක් තමයි පේන්න තියෙන්නේ. මැටිපිරියම් කරපු පොඩි පැල් කොටයක වහලේ තියෙන පිදුරු ගහක් හමාගෙන යන මඳ සුළඟකට අහුවෙලා එහෙට මෙහෙට වැනෙනවා. වැනෙන තාලෙට හඬකුත් ඇහෙන්නේ නැතුවම නෙවෙයි. කොහොමවුනත් වහලේ යහමින් අහස බලන්න පුලුවන් තරමේ හිල් කීපයකුත් පේන්න තියෙනවා.
ටිකක් උසට බැඳලා තිබුණ පියස්ස උඩ වාඩිවෙලා අහස දිහා බලන් ඉන්න පොඩි කොලු පැටව් දෙන්නෙක් එකෙක් අනිකට මෙහෙම කියනවා. “මට නම් හරිම බඩගිනියි අයියේ, මොනවහරි කන්න තියෙනවද දන්නේ නැහැ නේද?” ඔය විදිහට කතා කරන දේවල් කන වැකෙන තවත් කෙනෙක් ගෙයි මුල්ලකට වෙලා අහගෙන ඉන්නවා. ඒ තමයි මේ දරුවන්ගේ අම්මා. තමන්ගේ සැමියාගේ හදිසි වියෝව නිසා කබලෙන් ලිපට වැටුන ඇය දැනට ගතකරන්නේ පටාචාරාවට ආසන්න වෙන ජීවිතයක් කිව්වොත් හරි.
කරකාර බඳින දවසේ කරවට දමාපු මාලය, වලල්ල නගරේ උකස්බඩු කඩේට උකස් කරේ, මෙදාපාරවත් හේනක් පිටියක් වවාගෙන ජීවිතේ ගැටගහ ගන්න කියලා හිතාගෙන වුනත්, වල් අලියෙක් තමන්ගේ සැමියට කල හදියක් නිසා ඒ දේ හීනයක් තරමට නපුරු වුන එක, අදටත් වාවගන්නට ඇයට ඇත්තේ හැබෑ නොහැකියාවක්.
දරුදුක හමුවේ ඉන්ද්රකීලයක් ලෙස නොසැලෙන දෛර්යයක් ආරූඨ කරගත් ඇයට තම කටුක අතීතය මඳකට අමතක කරන්නට හැකිවීම, මඳකට අස්වැසිල්ලක් වුනාට කිසිම සැකයක් නැහැ. ඇඳිවත විතරක් ඉතුරුවුන කලක දරුවන්ගේ කුසගිනි නිවන්නට මඟක් සොයන්නට ඇය දරපු උත්සාහ අසීමිතයි. තමන්ගේ පැටවුන්ට කවන්නට ඉතුරු කරගත්තු හාල් මිටිය ඇය රකින්නේ හරියට මැණිකක් රකින නාගයෙක් වගෙයි. තැන තැන හිල් හැදුන හැට්ට පොඩ්ඩක් උඩුකයට ඇඳගෙන සිටින ඇගේ පියකරුව තිබූ තරුණ පෙනුම, දැන් දැන් වැහැරී ඇත්තේ ලෙන්චිනාගේ මහලු චරිතය මතකෙට එක් කරමින්.
කොච්චර අගහිඟකම් තිබුනත් තමන්ගේ දරුවන් ගැන හිතනකොට මේ ලෝකෙ ඉන්න ඕනෙම අම්මා කෙනෙකුට ඇතිවෙන්නේ නොසැලෙන ශක්තියක්. දසමාසයක් කුසේ දරාගෙන පාරමිතා පුරන අම්මා කෙනෙක්, තමන්ගේ දරුවව මුලින්ම දැක්කම ඇතිවන සෙනෙහස මහමෙරටත් වඩා උස දෙයක්. ඒගැන විස්තර කරන්න වචන නැතිතරම්. දරුවා කෑගහලා අඬන වෙලාවට කිසිම අම්මා කෙනෙක් දෙතනේ කිරි හංගන්නේ නැහැය කියලා කියමනක් තියෙනවනේ.
ඉතින් මම ලියන්නට පාදක කරගත්තේ මගේ මනස තුල ඇඳුනු පිටිසර මවක් දුක් උහුලන ආකාරයයි. අද හෙටම පැමිණෙන ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් තමයි මම මේ සටහන ලිව්වේ.
“දෙවැනි බුදුන් ලෙස ලොවම වුවම් කල, ලොවට පිදුම්ලද, ලොවේ උතුම් ලඳ, අම්මා…..”
“සඳවතුරෙන් නොව රුහිරෙන්ම දියකර, අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන”
“කළා වැවේ නිල්දියවර අපෙ අම්මා”
“කෑඳැති දරුවන් දෙතොලග පවස නිවූ අම්මා”
මේ සටහන ලෝකවාසී මව්වරුන්ගේ උත්තරීතර මාත්රූත්වයට පිදෙන තුති කුසුමක්ම වේවා!
Filed under: අම්මා වූ කලි, අල්ප කල්පනා, කාලීන කල්පනා, විචාර











මට නම් හිතෙන්නෙ අම්ම යනු විශ්ව සන්කල්පයක් කියලා