මෙදාපාර හදමුද?
හරිම කාර්යබහුල සතියක් තමයි ගෙවිලා ගියේ. සටහනක් ලියන්න වෙලාවක් හොයාගත්තෙත් හරිම අමාරුවෙන්.
අදනම් ටිකක් විතර නිවාඩුවක් ලැබුනා. මොකද ඒකත් අද සෙනසුරාදා හින්දා. ඉතින් ටිකක් නිහඬ බවක් මගේ බ්ලොග් අඩවියෙන් දැනෙන්න ඇති.
අද උදේවරුවේ ටවුමට ගිය වෙලාවේ, විශේෂ කාලයකදී විතරක් දකින්න ලැබෙන දේවල් ගොන්නක් මට දකින්න ලැබුනා. මම පොඩිදවස්වල නම් මේ කියන දේවල් අද වගේ යහමින් දකින්න ලැබුනේ නැහැ. කොහොමවුනත් මම මේ කියන්න යනදේ ගැන පොඩ්ඩක් විස්තර කරලම කියන්නං හොඳේ. තරහ නැහැනේ.
මම මෙහෙම කියන්නං. මට පොඩිදවස්වල උණබට ඕනකරපු අවස්ථා කීපයක්ම තිබුනා.
සරුංගල් අරින්න මගේ හිතේ තිබුන ආසාව නිසාම උණබට මගේ හොඳ මිතුරෙක් වුනා. අනිත් ආසාව තමයි උණබට තුවක්කු හදන එක. “බලුදං” ගෙඩි තුවක්කුවේ කටට කොටලා ඒක ඇතුලට කෝට්ටක් දාලා වේගෙන් ඉස්සරහට තල්ලු කරනකොට ඇහෙන හඬ, “අප්පා” වෙඩිහඬ පරාදයි. ඒ මගේ දෙවෙනි උණබට අවශ්යතාවය. ඊළඟ අවශ්යතාවය නං ඉතින් ඉස්සරවෙලා කිව්ව දෙකටම වඩා හාත්පසින්ම වෙනස්. හොඳයි ඔයා මොකක් කියලද හිතන්නේ? හරි, ඒ අවශ්යතාවය තමයි වෙසක් කූඩු හදන එක. ඒ දේ ගැනම තමයි මම මේ සටහනෙන් කියන්න හදන්නේ.
අපි පොඩිකාලේ වෙසක් මාසේ ලබනකං මග බලන් ඉන්නේ බට කපන්න යන්න. හරිම විනෝදයක් තමයි ඒකාලේ තිබුනේ. අම්මගෙන් සල්ලි ඉල්ලගෙන වේගෙන් දුවන්නේ ලඟම තියෙන හාඩ්වෙයාර් එකට. හීනි කම්බි රෝලක් අරගෙන එන්න. ඇවිල්ලා බට පතුරු මිටි බැඳලා ඕනකරන තරමට හදාගෙන තැනකින් වාඩිවෙලා අටපට්ටම්, නෙලුම් මල්, තරු ඔයවගේ එක එක හැඩයන්ගේ කූඩු හදනවා.
කූඩු තරඟ පවා ගම්වල තීයෙනවා. අපිත් ඒවට හරි හරියට කූඩු තියනවා. තියලා තෑගි දිනපුවත් එමටයි. ![]()
මේ දේවල්, අපිම ගෙදරදි හදලා, කොල අලවලා තමයි ගත්තේ ඒ දවස්වල.
ඒත් අපි, අද කාලයත් එක්ක ජීවන තරඟෙක දුවන නිසාවෙන්, නිවීසැනසිල්ලේ පිලිවෙලකට වෙසක් කූඩුවක් දෙකක් ගෙදරදිම හදාගන්න එක මඳකට අමතක කරලා තියෙන එකනම් දුකට කාරණයක්. අපේ තියන මේ දුරුවලකම නිසා අලුත් ජීවනෝපායකට මඟපාදා ගත්ත උදවියද නැතුවම නෙවෙයි.
ටවුමේ තැනින් තැන ඉදිකරපු වෙසක් වෙළඳසැල් අතරින් බොහෝමයක, අද දකින්නට ලැබෙන දෙයක් තමයි බීමබට වලින් හදපු වෙසක් කූඩු. එක පැත්තකින් බැලුවහම අපි දැන් දැන් හැමදේම සල්ලිවලට ගන්න තැනට පත්වෙලා ඉන්න එක ගැන නම් ඇතිවෙන්නේ හරිම කලකිරීමක් නේද? අපිම ගෙදර හදලා වෙසක් තෙමඟුල සමරනකොට හිතට ඇතිවන බුද්ධාලම්භණප්රීතිය කඩෙන් අරගෙන එල්ලපුවගෙන් නොලැබෙන බව මට වෙලාවකට හිතෙන දෙයක්.
බුදුහාමුදුරුවන්ගේ තෙමඟුල සිහිකරන මෙවන් දවසකවත්, ආමිස පූජාවක් ඒ විදිහට කරන්න පුලුවන් උනොත් හරිම උතුම් නේද?
ඒ නිසා අපි මෙදාපාර වෙසක් තෙමඟුල අර්ථාන්විතව සමරමු. මම වගේම ඔයත් කොහොමහරි වෙසක් කූඩුවක් හදනවා නේද?
කූඩු හදමු! වෙසක් සමරමු!
Filed under: අල්ප කල්පනා, කාලීන කල්පනා, විචාර











nice blog dud