මගේ රට එදා

දවස තිස්සෙම අන්තර්ජාලයේ සැරිසරන ගමන්, ඇස ගැටෙන දේවල් ගැන සවිස්තරව කියවන්න මට තියෙන්නේ පිස්සුවක් කිව්වොත් හරි. google reader එකට රටේම තියන තොරතුරු අඩවි රිංගවගෙන දවසම උනත් කියවන්න මම හරිම ආසයි.

පහුගිය සතියේ අපේ Chairman ගාව තියෙන දුර්ලභ පොතක් මගේ අතට පත්වුනේ, ඒකේ තිබුන පිංතූර වගයක් scan කරගන්න ඕනෙ කියලා කියපු නිසයි. අපේ Chairman ඇත්තටම පුදුම විදිහට පරණ දේවල් අගයකරන, එකතු කරන ලෝලියෙක් කිව්වොත් හරි. එතුමාගේ ගෙදර ඉඳන් office එකට වෙනකං හැම තැනකම පිරිලා තියෙන්නේ පැරණි බඩු, නැත්නම් පුරුදු වචනවලින් කියනවනං Antiques වලින්. එක අතකට පැරණි දේවල් වලට ඇලුම්කරන එක වගේම, ඒ දේවල් මහා ඉහලින් අගය කරන එකත් හරිම වටිනා ගුණාංගයක් විදිහටයි මම දකින්නේ.

හැබැයි රජෝ පරණ බඩුවල ගණන් තමයි සැර. :) හැම හන්දියක් හන්දියක් ගානෙම පරණ බඩු කඩයක් වරදින්නේ නැතිතරම්නේ අද කාලේ. රටේම තියෙන පරණ වලව් කඩ කඩ ඒවගේ තියෙන පැරණි බඩු කඩවලට දාලා විකුණනවා. ඒකනං එච්චරම සුභදායක දෙයක් නෙවෙයි.

කොහොමහරි, අපේ Chairman පරණ බඩු වලට වගේම දැඩි ඇල්මක් පරණ පොතපත වලටත් දක්වනවා. සමහර පොත් මුලු ලංකාවටම තියෙන්නේ එකක් නැත්තං දෙකක්. ගොඩක් වෙලාවට ඒවයෙන් එකක් අපේ Chairman ලඟ තමයි තියෙන්නේ. ඉතින් ඔයාට හිතාගන්න පුලුවන්නේ එතුමා කොච්චර පැරණි දේවල් අගය කරනවද කියලා.

එතුමා ලඟ තිබුන පැරණි පොතක් දවසක් මගේ ඇහැට අහම්බෙන් අහුවුන වෙලාවක මම ඒක ටිකක් ඕනකමින් බැලුවා. ඒකෙ තිබුනේ ඉපැරණි ශ්රීලංකාව ගැන විස්තර එක්ක ඒකාලේ ගත්ත පොටෝත් ඇතුලත් කරපු ලියවිල්ලක්. මට හරිම ආසයි ඒ පොටෝ දැක්කම. ගාලුපාර ඒ කාලේ තිබිච්ච හැටි දැක්කම පුදුමත් හිතෙනවා. ඒ පොත කියවන ගමන්ම මම google එකේ ceylon කියලා සර්ච් එකක් දැම්මා මොනවාහරි සමාන දෙයක් අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයාගන්න හිතාගෙන.
මගේ ඇස්දෙක පෙරකරපු පිනකටද කොහෙද උඩින්ම ආපු search results අතර පැහැදිලිව පෙනෙන වෙබ් අඩවියක් Ceylon යන නම යටතේ තියනවා දැක්කා.

ඒ වෙබ්අඩවිය තමයි imagesofceylon කියන වෙබ් අඩවිය. පොත් ඔක්කොම එකවරම බැලුවා වගෙයි මට හිතුනේ. ඒ තරමටම පැහැදිලිව ලස්සනට එකින් එක අහුරපු පින්තූර රාශියකින් ඒ අඩවිය පිරිලා ගිහිල්ලා. ඔයත් නිවාඩුපාඩුවේ ඉන්න වෙලාවක ගිහින් බලන්න. අපේ රට, මගේ රට කොච්චරනං ලස්සනද ස්වභාවිකද කියලා ඒ කාලේ.

මේ විදිහට බලන්න පින්තූර සපයපු Palinda de Silva මහතාට මගේ ස්තූතිය ප්රණාමය පුදකරන්න කැමතියි. ඔබ කරන සේවය මහත් අගනේය.

බලන්න ඉතින් මගේ රටේ එදා කොච්චර ලස්සනට තිබුණද කියලා.

Leave a Reply