සදාකාලික නොවූ ලෝකෙක, සදාකාලික ප්රේමයක්…
පොඩිකාලේ මාව බලාගත්ත ආච්චි කෙනෙක්ගේ අවසන් කටයුතුවලට ගිය සතියේ සහභාගීවෙන්න ලැබුනා. මරණ ගෙදර හිටපු අයගෙන් සෑහෙන ප්රමාණයක්ම, මේ ආච්චි බලා හදාගත්ත අය කියලා එයාලා කතාකරපු විදිහෙන්ම මට තේරුණා. සුදුම සුදු ලස්සන ආච්චි කෙනෙක් වෙච්ච කන්නන්ගර ආච්චි, ජීවිතෙන් සමුගන්න ලංවෙලා හිටිය කාලෙදිත් නිරෝගීව හිටපු බව හැමෝම කතාවුන දෙයක්.
රෝයල් නේවි එකේ සේවය කරපු කපිතාන්වරයකුගේ වැඩිමහල් දියණිය වුන ඇයට, ඉංග්රීසි සිංහල දෙමළ භාෂා තුනම එක හා සමානව කතාකරන්න පුලුවන් වෙලා හිටියා. ආච්චි අවසන්කාලයේ ජීවිතය ගතකරේ අපේ ගමේ තිබුන ප්රසිද්ධ ක්රීඩාපිටියක් අසල තිබුන ගෙදරක.
මමත් ඉතින් සෙනසුරාදා උදෙන්ම ලැහැස්තිවෙලා මරණ ගෙදර යන්න පිටත් වුණා. කාර්යබහුල ජීවිතයක් ගතකරන මට ගමේ නිදහසේ ඇවිදින්න ලැබෙන්නෙත් මේවගේ දවසක තමයි. මම ඉතින් ගමේ විස්තර බල බල හෙමින් හෙමින් මරණ ගෙදරට ආවා. අනේ ඉතින් පහුගිය අවුරුදු දවසේ බුලත් දීලා ආච්චිට වැඳලා ආශීර්වාද ගත්ත හැටි මට අදවගේ මතකයි. හෙමිහිට මගේ ඇස්දෙක කඳුලෙන් තෙත්වෙන්න පටන්ගත්තේ මටත් නොදැනීමයි. අහිංසක විලාසෙන් මිනීපෙට්ටිය ඇතුලේ තැන්පත්වී හිටපු ආච්චිව දැකීමෙන්, හිතේ ඇතිවෙච්ච සෝකය මෙපමණයි කියලා කියන්න බැරිතරම්.
ජීවිතය කොතරම් තාවකාලිකද කියලා මට කල්පනා වුනේ දවස් දෙකතුනකට ඉස්සෙල්ලා ජීවීව හිටපු ආච්චි අද අජීවීව නිසොල්මනේ වැතිර ඉන්නවා දැක්කට පස්සෙයි. අපි මෙච්චර කතාකරන ලෝකය කොච්චර තාවකාලිකද කියලා, ඒ වෙලාවේ මගේ කල්පනාවට ආවා. අපි රටේම නැතිතරම් විලාසිතා ජාති කොච්චර කරත් කොයිවෙලාවේ ජීවිතෙන් සමුගන්නවෙයිද කියලා කියන්න බැහැනේ. ඔයවිදිහට කල්පනා කර කර ඉන්න මට පිට්ටනියේ ඈත කෙලවරක පෙම්බස් දොඩන ජෝඩුවක් දකින්නට ලැබුනා.
එකෙක් අනිකාගේ අතින් අල්ලගෙන ඇඟිලි ගනින ගමන්, අනන්තය දක්වා විහිදෙන බැල්මක් දාගෙන කල්පනාවක පසුවෙන හැඩක් පේනවා. වෙලාවකට හිනාවෙනවා, වෙලාවකට රවනවා, කරට අතදාගෙන ඇඟට තුරුල් වෙනවා, එකෙක් දාලා ඈතට දුවගෙන යනවා ඔය විදිහට දේවල් ගොඩයි. ඇත්තටම ආදරය තමන්වෙත ආවම හිතට දැනෙන හැඟීම ගැන වෙනමම මම කියන්න ඕන නැහැනේ. ප්රේමය කොච්චර සුන්දර වුනත් ඒ තුලත් බොහෝවිට ගැබ්වෙලා තියෙන්නේ තාවකාලික බවක් කිව්වොත් ඔයා මාත් එක්ක එකඟවෙයි.
ආදරය කරන කොට දැනෙන සුවයට සමානම වේදනාවක් ආදරෙන් පැරදුනහම දැනෙනවා කියන එක, ඒදේට මුහුන දුන්න ගොඩාක් දෙනෙක්ට තේරෙන දෙයක්. අවුරුදු හය හත එකදිගට ආදරය කරන දෙන්නෙක් වෙන්වෙන්න යන්නේ දවසකටත් අඩු කාලයක් වෙන්න පුලුවන්. ඒ දේට හේතුව තුන්වෙනියෙක් දෙදෙනා අතරට එන එක නැත්තං, අම්මලා තාත්තලාගේ වචනේ අහක දාන්න බැරිවීම වෙන්නත් පුලුවන්.
කොහොමහරි පොල් සම්බෝලයි බතුයි කන්න කතා කරගත්තත්, පහු පහු වෙනකොට “මේ මොන කරුමයක්ද? අම්මලා කිව්වදේ ඇහුවනං මට මේ දේ වෙන්නේ නැහැනේ. මටනං දැන් එපාවෙලා මේ ජීවිතේ” කියලා කියන අවස්ථා තමයි බහුතරය අහන්න දකින්න ලැබෙන්නේ. “කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල” කියන්නේ නිකංම නෙවෙයිනේ.
අන්තිමට මුලු ජීවිතේම බලාගෙනයනකොට නාට්ටියක් වගේ. මිනිස්සු බලං ඉන්නවා අපි රඟපානවා. රඟපාලා මැරිලා යනවා. ඉතින් මේ විදිහට සදාකාලික නොවූ ලෝකෙක සදාකාලික ප්රේමයක් තියෙන්න පුලුවන් කියන එකම ගැටලුවක් නේද?
Filed under: අල්ප කල්පනා, අවසන් සටහන, ආදරය, කාලීන කල්පනා, විචාර, වියෝව, විරහව, සොබාදහම, හුදෙකලාව, ළමාවිය











ඔහොම තමයි ජීවිතේ හැටි. ආදරයට භෞතික සාධක බලපානවා
හැමදේම සාපේක්ෂ ලෝකෙක ප්‍රේමයත් සාපේක්ෂයි. සදාකාලික එකම දෙය සංසාර චක්‍රය විතරමද මන්දා