ඔහු නිහඬවී මාසයයි

තරුණ සිතුවිලි, වෙලාවකට මොලොක්වද වෙලාවකට රලුවද ඉදිරිපත් කරන අපූරු කොලුගැටයෙක්, බ්ලොග් අවකාශයේ ඉඳිද්දී මට හමුවුණා. ඒ මීට ටික කාලෙකට ඉස්සර. සිංහලෙන් වගේම ඉංග්රීසියෙන්ද එකවගේ ථල කිරීම් රාශියක් ඔහුගේ බ්ලොග් අඩවියේ ඇතුලත්වුණා. ඉතින් මමත් ලියන්න ඕන කියලා හිතන්න පටන්ගත්ත කාලේ වෙනකොටත්, ඔහු දිගට හරහට බ්ලොග් ලියන හොඳ රචකයෙක්.

නමුත් රටේ අවාසනාවක මහත කියන්නේ දක්ෂයෙක්ට වැඩිකල් දඟලන්න හම්බවෙන්නේ බොහෝම කෙටිකාලයයිනේ. මොන ක්රමයකින්හරි ඒ අයගේ ජීවිත අකාලයේ මිලින වෙනවා. මෙච්චර තිරිසනුන්ටත් අන්ත මිනිසුන් ජීවත්වෙද්දී උගත් බුද්ධිමත් මිනිසුන්ට සොභාදහම සලකන විදිහෙනම් කොහෙත්ම සාධාරණයක් පෙනෙන්නට නැහැ.

ඉතින් මෙච්චර වෙලා මම වැල්වටාරම් කියෙව්ව මිසක්, කව්රුගැනද මේ කියන්න තතනන්නේ කියලා පැහැදිලිව කිව්වේ නැහැනේ.

ඒ තමයි මානවහිතවාදී සරසවි සිසුවකුවූ, බ්ලොග් අවකාශයේ අපේ මිතුරකුවූ අප අතරින් හදිසියේ වෙන්වීගිය සහෝදර යසරුවන් ගුණතිලක. ගෙවීගිය සිංහල අවුරුද්ද ඔහු අප හා ගතකල අවසන් අවුරුද්ද වේවිය කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. පේරාදෙණිය සරසවියෙන් ඔහු නිවාඩු ලබාගත්තේ, නිතැතින්ම අවුරුදු නෑගම් යන්නට මිසක් අකාලයේ ලෝකයෙන් සමුගෙන යන්නට නෙවෙයිනේ. තමන් ආදරය කරපු, තමන් දියනාපු දියපහර පෙරලා තමන්ව බිලිගනිතැයි කිසිවෙකුට නොහැඟෙන කාරණයක්නේ.

ඒදේ කොහොම උනත් අවසානයේ, අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට ඔහුට සිදුවූයේ නොහිතූ ආකාරයකින්. ඒ පුවත කන වැටුනු මට ඇතිවුණු කම්පනය මෙපමණයි කියලා කියන්න බැරිතරම්. යසරුවන් තමන් විසින් ලියපු බ්ලොග් අඩවිය තුලින් බොහෝවිට සත්ය වෙනුවෙන් හඬක් නගපු ආකාරය අදටත් එය කියවන ඕනම කෙනෙකුට හැඟෙන දෙයක්.

මසක් ගතවූ තැන, ඔබ වෙනුවෙන් වචනයක් ලියන්නට අවස්ථාව කරගන්නේ හදවත පිරුණු සංවේගයකිනි. ඔබ අපෙන් හදිසියේ වෙන්වීගියත් ඔබගේ මතකය සදා අප හදවත් තුල රැඳීපවතිනු ඇත.

සොයුර ඔබට නිවන්සුව!

One Response to “ඔහු නිහඬවී මාසයයි”

  1. ඇත්තටම ඔහුගේ මරණය බොහොම අවාසනාවන්ත සිදුවීමක්. අපේ විශ්ව විද්‍යාලයෙත් මෙවැනි සිදුවීම් කලින් කලට සිදුවුනා. සිංහල බ්ලොග් කරුවන් වෙනුවෙන් මෙම සිදුවීම මුලින්ම පුවත්පතේ දුටු අවාසනාවන්තයා වුනේ මම.

    යසරුවන් වෙනුවෙන් පේරාදෙණි සිසුන් පල කර තිබුනු ශෝක ප්‍රකාශන මම දැක්කා එහෙ ිය වෙලාවෙ. අපි ඔහුට නිවන් සුව පතමු .

Leave a Reply