කාලෙකට පස්සේ…

ඔන්න දැන්තමයි පොඩිපහේ විවේකයක් ලැබුනේ යමක් සටහන් කරන්නට. ගතවුනු සති කීපයම විවිධ වැඩ වලට වෙන්වුන නිසා කිසිම දෙයක් සටහන් කරන්න බැරිවුනා. මම නොලිව්වත් හැම දවසකම වගේ ඇවිත් බලලා ගියා. මම එක්ක දිගටම හිටියට ඔයාට ස්තූතියි.

මම මගේම කියලා පොතක් එළිදක්වන බලාපොරොත්තුවෙන් ටික ටික ලියමින් ඉන්න කාරණයත් මේ නිහැඬියාවට එක හේතුවක්. ඒ වගේම ගතවුනු කාලය පුරාවටම exam තිබුන නිසා ඒවගේ වැඩවලට හිරවෙලා තමයි හිටියේ. තවත් හේතුවක් තමයි මේ දවස්වල මම අසීමිත විදිහට පොතපතට ඇබ්බැහි වෙලා සිටීම.
දැන්නම් ගොඩාක් ප්රශ්න ඉවරයි. ආයෙත් දිගටම ලියන්න පුලුවන් වීම මගේ හිතට ගෙනදෙන්නේ අප්රමාණ සතුටක්.

කාලෙකට පස්සේ මට මගේ පරණ මිතුරෙක් මුනගැසුණා. ඔහු දැකපු ගමන් මට හරිම සතුටක් වගේම විමතියකුත් ඇතිවුණා. ඒ මොකද කියනවනං ඔහු තමයි ඉස්සර අපේ පන්තියේ හිටපු පොඩිම ළමයා. දැන් ඔහුගේ ප්රමාණය ගත්තහම අප්රමාණයි. හරිම ලොකුයි. ඒ වගේම හරිම හොඳයි. මම ටිකක් ඔහු එක්ක කතාබහ කරද්දී මට කාරණා කීපයක් පසක් කරගන්න ලැබුණා. ඒත් මගේ හිත සසල වෙන කරුණකුත් ඔහු තුලින් මතුවී ආවා. ඒ දෙය තමයි ඔහුගේ දෙමව්පියන් අකාලයේ මියපරලොව ගිය කාරණාව.

ඒ කතාව ඇහුව පමණින්ම මගේ හදවත කම්පා වෙලා ගියා. මොකද ඒ යාලුවගේ දෙමව්පියන් මම පොඩිකාලේ ඉස්කෝලෙ ඇරුනම අම්මා එනකං මාව බලාගත්තේ කුරුලු දෙමව්පියන් තම පැටියෙක් රැකගන්නවාට නොදෙවෙනි විදිහකට. එයාලා මට කරපු උපකාර වලට කලගුණ සලකන්න මට යන්න නොලැබුණ එක නම් හිතට හරිම දුක් ගෙනදෙන්නක්.

ඉතිං මට හිතුනා ඒ දෙදෙනාට ප්රණාමය පුදකරන්න මේ පොඩි සටහනෙන් ඉඩක් වෙන්කරගන්න.

ඔබ දෙදෙන මට දෙවන මව් සහ පිය වූවා අදවගේ මතකයට නැගේ.
හදවතේ ඇතුලුපැත්තේ කැකෑරෙමින් නැගෙන කම්පාවේ ගිනිදැල්ලෙන් මා දැවීයන්නාසේ මට හැඟේ.
ජීවිතයෙන් ඔබ දෙපල සමුගනිද්දී මට අවසන් සුසුම් වල උණුසුම ලබනට පිනක්වූයේ නම් කෙතරම් අගනේද?
එබැවින් ඔබ දෙපලට මෙසේ මාගේ ප්රණාමය පුදකර සිටින්නේ හදපිරි බැතියෙණි.

One Response

  1. පොත එලි දක්වන දවසට අපිටත් කියන්න. ඉඩ ලැබුනොත් අනිවාර්යයෙන්ම එනවා.

Leave a Reply