කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම දෙයක්ම පරදමින් අඳුර මුලු නගරයම ගිලගනිමින් තමයි තිබුණේ. ආ… අමතක වුනානේ මම කිරිබත්ගොඩ තකහනියක්ම යන්න හේතුව මොකක්ද කියලා කියන්න. ඒක තමයි කිරිබත්ගොඩ තිබුණ තොරණ බලන්න හිතේ ඇතිවෙච්ච නොමඳ ආසාව. ඉතිං හතට ගියාට තොරණ විව්රුත කරන පාටක්නම් නැහැ. බැලින්නං විව්රුත කරන්නේ හතයි තිහට කියලා මනුස්සයෙක් කියනවා මට යාන්තමට වගේ ඇහුණා.
ඉතිං තව පැයබාගයක්ම තියෙනවනේ. හිටගෙන ඉන්නත් බයයි,මොකද හැමතැනම හිටපුගමන් බෝම්බ පුපුරණවනේ. කොහොමහරි කරන්න දෙයක් ගැන යන්න තැනක් ගැන හිත හිත ඉබේටම මාව ටිකදුරක් ඉදිරියට ඇදිලා ගියා. හැබැයි තොරණ් බලන්න ආවට මොකද මගේ අතේ සල්ලිත් යහමින් තිබුණා. ඉතිං ඔහොම මම ඉබේටම ඉදිරියට යන ගමන් පොඩි සද්දයකුත් දාගෙන මොනවහරි සේල් එකක් තියෙනවා දැක්කා. ටිකක් ලංවෙලා විපරම් කරලා බැලින්නං පොත් සල්පිලක්. සෙනගත් ටිකක් නොහිටියාම නෙවෙයි.
යන්න තැනක් හොය හොය හිටපු නිසාම මටත් හොඳ අවස්ථාවක් තමයි උදාවුණේ. මමත් ඔහොම ඇතුලුවුණා පොත් සල්පිලට. මුලින්ම මට රුසියන් අනුවාද ගොන්නක් දකින්නට ලැබුණා. මිනිස්සු කීපදෙනෙක් පොත් අතට අරගෙන පිටු එහා මෙහා කරමින් ඉන්නවා. මම ටිකක් ඉදිරියට යනකොට මට එක පොතක් හමුවුණා අහම්බෙන් වගේ. ඒ පොත ලියැවුනේ කතන්දරකරුවකුගේ සටහන් පාදක කරගෙන වීම මගේ හිත ඒ පොතට ඇදීයන්න හේතුවුණු එක් කාරණයක්. ටිකක් පොත අතට අරගෙන පිටිපස්ස පැත්තේ තිබුණ සටහන කියවලා බලන්න මම අමතක කරේ නැහැ.
එහි මේ විදිහට සරලව සටහන්වී තිබුන නිසාම, මට ඒ පොත අරගෙන කියවන්න ඇතිවුන ආසාව ටිකෙන් ටික වැඩිවුණා.
“කොළඹ නගරයට එතරම් ඈත නොවූ ගම් පියසක මේ කතන්දරකරුවා උපත ලැබී ය. ඉක්බිති ගෙවීගිය පනස් වසරකට අධික කාලය තුළ සිදු වූ දේ බොහෝ ය. කතන්දරකරුවා ඒ කාලය තුළ සිය ජීවිතය හා සම්බන්ධ සමහර සිද්ධි ආස්වාදයෙන් යුතුව සිහිපත් කරයි. එසේ ම නිර්මාණයන්ට පාදක වූ අත්දැකීම් ගැන පවසයි. සරල එහෙත් සිත් ගන්නා සුලු බස් වහරක් උපයෝගී කර ගනිමින් රචිත මේ සටහන් මාලාව පාඨකයාට අපූරු ආස්වාදයක් ලබා දීමට සමත් වනු නො අනුමාන ය.”
ඉතින් අතේ සල්ලි තිබුණ නිසා ම මම ඒ පොත අරගත්තා. අරගෙන සල්පිලෙන් එලියට එනකොට ඔන්න තොරණත් විව්රුත කරන්න යන වග දැනගන්නට ලැබුණා. පොතත් අතේ අරගෙනම තොරණ හොඳට පේන තැනකින් හිටගත්තා නිවිසැනසිල්ලේ බලන්න හිතාගෙන. ඒ විදිහට තොරණ බලලා ඉක්මනට ගෙදර ගියා පොත කියවන්න හිතාගෙන. ඉස්පාසුවක් නැහැ පොත කොහොමද කියලා දැනගන්නකං.
මම හිතන්නේ දැන්නං ඔයාට ඉස්පාසුවක් නැතුව ඇති ඒ පොත කාගැනද කියලා දැනගන්නකං නේද? හරි මම කියන්නං. ඒ පොත ලියලා තියෙන්නේ ඇරැව්වල නන්දිමිත්රයන් තමන්ගේ වසර පනහකට අධික මතකයන් ගොන්නක් එකට කැටි කරලා. හරිම සරල ආකාරයකට සරල බසකින් ලියැවිලා තියෙනවා ඔහුගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැන. මම පොත රසවිඳින ගමන්ම සම්පූර්ණයෙන් ම කියවලා ඉවර කරන්නට ගතකරේ බොහොම කෙටි කාලයක්.
ඉතාමත් රසවත් අතීත ආවර්ජනයක් විදිහට මම ඒ පොත දකින අතරෙම, ඔහුගේ පොත් ගැනත් පොඩි සටහනක් කරන්නට අමතක කරන්නේ නැහැ. ඔහුගේ නවකතා අතර “පියවතී සහ ඇගේ පුත්තු”, “ජීවිතයේ කොටස් කාරයෝ”, “මල්දෙණියේ සිමියොන්”, “මිහිසරණ”, “මල් මදාරා”, “සෙනෙහෙලතා මැණිකේ” වැනි නවකතා මම අදටත් ආසාවෙන් මතක් කරන්නේ ඒවා තුලදී හමුවූ චරිත වඩාත් තාත්වික වූ නිසාමය.
අවසාන වශයෙන් ඔහුගේ නාමය නිති වැජඹේවා කියා ප්රාර්ථනා කරමින් ම මම මගේ සටහනින් අදට මේ විදිහට සමුගන්නෙමි.
Filed under: අම්මා වූ කලි, අල්ප කල්පනා, ආදරය, කාලීන කල්පනා, දිළිඳු බව, නිශා යාමය, විචාර, විරහව, වෙසක්, සොබාදහම, හමුවීම්, හුදෙකලාව, ළමාවිය



කිරිබත්ගොඩ නම් අපිටත් ළඟ. පොත ගැන කිව්ව එකට තුති.
සටහන නං අපූරුයි. පොතේ නමත් දැනගන්න තිබුනනං තමා හොද.
සමාවෙන්න, මට නම සඳහන් කරන්න බැරිවුනාට
පොතේ නම : කතන්දරකරුවකුගේ සටහන්
කතුවරයා : ඇරැව්වල නන්දිමිත්ර