වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම

මගේ මිතුරු මිතුරියන් මාත් එක්ක දිගටම ඉන්න එක මට ලොකු ශක්තියක් කිව්වොත් නිවැරදියි. ගතවුනු දින සියල්ලම පාහේ ගතවුනේ හරිම සැහැල්ලුවෙන් නම් නෙවෙයි. විභාග අධ්‍යාපන කටයුතු හැරුණම විවිධ දේවල් ජීවිතයට ආවේ හරියට සුළි සුළඟක් විදිහට කිව්වොත් ඒකේ සැබෑවක් නැත්තෙම නැති තරම්. ඒත් ජීවිතය සරලව ගතකරන්න තියනවනම් කොපමන අගේද කියලත් හිතෙනවා වෙලාවකට. කොහොම වුනත් මට “කල්පනා” ලියන එක අතපහු වුන එක මම දකින්නේ මගේ දුරුවල කමක් විදිහටයි. මට මගේ සටහන් එක්ක මගේ සහෘදයන් එක්ක හැමදාම ඉන්න තිබුනනම් තමයි හිතට සතුටක් වගේම තෘප්තියකුත් ඇතිවෙන්නේ.

කොහොම වුනත් මම ඔන්න මගේ පනස් පස් වෙනි සටහනට මේ විදිහට පිවිසුමක් ලබාගන්නම්. “වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” කිව්වහම ඔයාට හැඟෙන්නේ මොන විදිහෙ හැඟීමක්ද? වරක් ආවොත් දිගටම එන දේවල් ගැන ඔබ දන්නේ මොනවද කියලා මඳකට හිතන්න. හරි අපි මෙහෙම හිතමු, මෝසම් වර්ෂාව ගැන හිතමු. වරක් ආවහම අපි කියන්නේ වස්සානේ ආවා කියලනේ. මේ වස්සානයයි කියලා කියමින් ඒ වටා ගෙතුණු සෞන්දර්ය්‍යාත්මක කාරණා ගොන්නක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම වසන්ත කාලය තවත් උදාහරණයක්. “මේ… ප්‍රථම වසන්තයයි” ඒ විදිහට වසන්තය ගැන කියවෙන මගේ සිත්ගත් ගීතයක් මතකෙට එනවා. ඔය විදිහට විවිධ පැති ඔස්සේ “වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” ගැන කතා කරන්න පුලුවන්. ඒ දේවල් ගැන විවිධ පැතිවලින් විවිධ ආකාර වලට කතා කරතත් මම අදහස් කරපු කාරණය මේ දේවල් වලට මඳක් වෙනස් මුහුණුවරක් ගන්නවා කිව්වොත් හරි.

සිතක උපදින සිතුවිලි යමක් අයිති කරගැනීම දක්වා දිවයන අවස්ථා අපි හැමෝගෙම ජීවිතවලට පොදුවුනු කරුණක්. සිතුවිල්ලක ගැබ්වී ඇති යම් අවශ්‍යතාවයක් සපුරා ගන්නට අපි දරණ උත්සාහ අපමණයි. ඒ ගැන මම මේ විදිහට විස්තර කරන්නම්. හිතන්න ඔයාට ජංගම දුරකථනයක් අලුතෙන් ම මිලදී ගන්න, නැත්නම් දැනට පාවිච්චි කරන එක වෙනුවට අලුත් එකක් ගන්න ඕන කරලා තියනවා කියලා. ඒ සිතුවිල්ල හිතට ආපු දා ඉඳන්ම ඔයාට හිතෙන්නෙත් ඒ දේ ගැනමයි. හොයන්නෙත් පත්තර පෙරලගෙන ජංගම දුරකථන මයි. හීනෙන් දකින්නෙත් ජංගම දුරකථන මයි. කොටින්ම කියනව නම් ජීවත් වෙන්නේ ජංගම දුරකථනයක් ගන්න බලාපොරොත්තුවට මුල් තැන දෙමින් මයි. ටිකක් හිතලා බලන්න ඒක එහෙමයි නේද කියලා.

ඉතින් ඔය විදිහට බැලුම් බලලා තමන්ගේ කාලය ගතකරලා සිය අවශ්‍යතාවය කොහොමහරි සපුරාගන්න එකනේ සාමාන්‍ය කාරණාව. ඔන්න තමන් කැමති ජංගම දුරකථනය මිලදී ගත්තා කියමු. ඒ මිලදී ගත්ත මොහොතේ පටන් දිගින් දිගටම හමුවෙන අය ළඟත් ඒ වර්ගයේ ජංගම දුරකථන තිබෙනවද කියලා බලන එක තමන්ටම නොදැනී සිදුවෙන දෙයක්.

මම මෙතනදී අදහස් කරේ ඒ විදිහේ කාරණාවක්. මම වාහනයක් ගන්න තාක්කල්, ඒ වාහනයේ වර්ගයේම වාහන පාරෙදී කොතරම් මුණ ගැසුනත් ඒ ගැන විශේෂත්වයක් හිතේ ඉපදුනේ නැති තරම්. ඒ වුනත් වාහනය ගත්තදා ඉඳන් පාරෙදී ඕනෑකමින් බලන්නේ, ඒ වගේම මුණගැසෙන්නේ ඒ වර්ගයේ වාහනමයි. පෙරදීට වඩා වැඩිවුණු උනන්දුවක් හිතේ ඇතිවෙලා තියෙන වග පැහැදිලියි නේද?

ඒ දේ පාදක කරගෙන තමයි මම “වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” යන්න ගැන යමක් ලියන්නට අදහස් කරේ. හිතේ උපදින සිතුවිලි තමන්ව කොතරම් දුර අරගෙන යනවද කියන එක පැහැදිලියි නේද? යමක් අපේ ජීවිතයට සම්බන්ධ නොවෙනතාක් අපේ අවධානය ඒ දේ වෙත යොමුවීම අඩු වුනත්, ඒ දේ ජීවිතයට ආ දා ඉඳන් අපේ අවධානය වැඩියෙන්ම ඒ දෙය වෙතට යොමුවෙන එක හරිම පුදුම දෙයක් නේද?

“වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම” සිදුවෙන්නට පටන්ගන්නෙත් එතැන් පටන් මයි.

3 Responses

  1. ඇත්ත කතාව.

  2. ඔබ මතු කල අදහසට මමත් එකගයි. ඒ මොතද ඔය කියු කාරණා මටත් ඇතිවන නිසා. නමුත් මා ලගදි කියවු පොතක තිබුනා මෙන්න මෙහෙම (ඔබ මතු කල අදහසට කොයි තරම් දුරට ගැල‌ෙප්ද නොගැලපේ ද යන්න නම් මා දන්නේ නැ. නමුත් එහි සටහන්ව තිබු දේ මා සටහන් කරන්නම්.) “මිනිහෙකුට, යමක් අවශ්‍යම නම් ඔහුට එය අත්‍යවශ්‍ය නම් ඔහුට ඒක ලැබෙනවා. නමුත් ඔහුට ඒක ලැබුණහම ඔහු ඒකට අනමැති වේවි.” (මිගුවල් වීදීය – වී. එස්. නයිපෝල්)

  3. සමර ආයෙත් ලියන්නේ කවදාද ? ඔබේ සටහන් කියවන්න ලැබුනේ ගොඩ කලකින්. මේ ලියූ දේ නම් ඇත්ත තමයි. අවශ්‍යතාවන් අල්ප වුනහම ජීවත් වෙන්න ලේසියි කියලා හිතෙනවා

Leave a Reply