මෙපමණයි කියා කියන්න බැරි කාලයක් මම නිහඬව සිටින්නට හේතුවක් හරිහැටි හමුනොවුනත්, ඔන්න ආයෙත් යමක් කල්පනා තුල ලියා යන්නට ගොඩ වැදුනා. ආයෙත් සැරයක් මගේ කල්පනා එලි දක්වන්න ඒවාට අලුත් පනක් ලබල දෙන්න මගේ හිතේ තිබෙන ආසාව නම් මෙපමණයි කියන්නටත් බැරි තරම්. හිතේ ඇතිවෙන සොඳුරු වූත් අව්‍යාජ වූත් කල්පනා ගොන්න කොනක ඉඳන් දිග හරින්නට වගේම ඒ දිග හැරුණු කල්පනාවේ යදමින් මගේ රසික සිත් ඇද බැඳ තබා ගැනීමට මට පුලුවන් වුනොත් මම බලාපොරොත්තු වන සතුට ලැබුනා කියන්නට නොහැකියාවකුත් නොමැති තරම්.
කොහොම වුනත් ඔන්න මම එහෙමත් නැත්තං සමබර ආයෙත් ආවා. මම මටත් හොරාම ගෙවීගිය කාලය ගැන ආපස්සට හැරිලා නොබැලුවත් අතීතයෙදි සිදුවුනු වැදගත් සිදුවීම් දිහානං ආපසු හැරී බලන්නට අමතක කරේ නැහැ. දැනට ටික කාලයකට උඩදී සිදුවුනු වැදගත් සිදුවීමකට මගේ මතකය ගෙන යන්නම්. බෞද්ධයෙක් විදිහට බලන කොට ඒ සිදුවීමේ ගැබ්වුනු හරය නැත්නම් ඒ සිදුවීම නිසා ඇතිවන ප්රතිඵල නම් හරිම අගනෙයි කියන්න පුලුවන්.
මම කතාවට මෙහෙම පිවිසෙන්නම්. කාටද පුලුවං ජාතක කතා පන්සිය පනහක් කටපාඩමෙන් අඩුම තරමේ නම් ටිකවත් කටපාඩමේ තියා ගන්න. එහෙම පුලුවන් අයත් ඉන්න පුලුවන් වුනත් මට නම් ඒක ඉතාමත් අපහසු කාරණයක්. ඉතින් ඔය කාරණාවට පිළියමක් වශයෙනුත්, පන්සිය පනස් ජාතකයන්ගේ ඉදිරි පැවැත්ම තහවුරු කරන්න පිළියමක් විදිහටත් පන්සිය පනස් ජාතක පොත ඉතා සවිස්තරව වෙබ් අඩවියක ඇතුලත් කිරීමට රජය පියවර අරන්. ඔය විදිහට පිලිවෙලකට සැකසූ වෙබ් අඩවියක් ටික දවසකට ඉස්සර අන්තර් ජාලයට එකතු වුනා.
ජාතක කතා පන්සිය පනහම එකතැනකට ඒකරාශි කරලා තිබෙන මේ වෙබ් අඩවිය ගැන සමහර විට ඔයා දන්නවත් ඇති මේ වෙනකොට. එහෙම දැනගෙන හිටියේ නැත්නම් මෙන්න ලිපිනය www.jathakakatha.org . ඇත්තටම අතීත කාලයක ඉඳන් ඉතාමත්ම අපහසුවෙන් වගේම ඉතා විශාල කැපවීමකින් රැකගෙන ආපු පන්සිය පනස් ජාතකයන් ගැන තොරතුරු වල පැවැත්ම තවදුරටත් තහවුරු වීමක් තමයි මම මේ කටයුත්ත තුලින් දකින්නේ.
ජාතක කතාවක් ගොඩක් වෙලාවට අසා දැනගන්නවා හැරෙන්නට පොතපත කියවීමෙන් දැනගන්න අවස්ථා ඉතාමත්ම විරල මෙවන් යුගයක, කාටත් කියවන්න ආසා හිතෙන සරල ක්‍රමයකට ලියවා ඇතුලත් කිරීමෙන් කියවන්නා තුල රුචිකත්වයක් ඇතිකිරීමට දරා ඇති උත්සාහය නම් අමිලයි.
පෞරාණික වශයෙන් වැදගත් කමක් තිබෙන මෙවන් දේවලට නවීන තොරතුරු තාක්ෂණය යොදා ගැනීම නම් කාලීන අවශ්‍යතාවයක් විදිහට සලකන්නට පුලුවන්. ඒ වගේම හැම දෙයකම හොඳ වගේම නරකත් ගැබ්වෙලා ඇති නිසා තාක්ෂණය භාවිතයේදී යම්තාක් දුරකට පරිස්සම් වන අතරතුර පැරණි දෙයට එතුලින් හානිවීම අවම වන පරිද්දෙන් කටයුතු සිදුකිරීමත් ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්.
ඒ දේවල් කොහොම වුනත් පන්සිය පනස් ජාතක පොතට තොරතුරු තාක්ෂණයේ පහස ලැබීම නම් මිලකල නොහැකි දෙයක් කිව්වොත් නිවැරදියි. “එහෙම නේද?” ආයුබෝවන්!!
Filed under: අල්ප කල්පනා, කාලීන කල්පනා, විචාර



මේ ගැන සැල කරාට ස්තුතියි. ඉතා වේගෙයෙන් ඉදිරියට යන ලෝකයේ, මෙවන් දෙයක් කිරීම අත්‍යවශයයි.
දිලූප…