ඉකිබිඳියි මතකයන් රහසේ…

being-aloneසොඳුරු මාවත් ඇවිද ගියතැන් සිත්හි කොනකට තද කරන්…
ගිය මගෙහි ඈ අද ද පියමං කරයි දුක සිර කොට අරන්…
කතා කල දෑ දෙකන රැව්දෙන විටෙක හදවත පාරවන්…
ඇයගෙ මතකය නැවත දිවයයි ඔහුගෙ තුරුලෙහි ඉඩ අරන්…

වසින වැස්සට බොඳව ගිය පොත් මිටිය ලැමඳට තුරුලු කරමින්…
තබයි එක දෙක පියවරක් අද තනිව ගිය සිත කඳුලු සලමින්…
එදා ඔහුගේ තුරුලෙ රැඳෙමින් වදන් තෙපලූ පුංචි මුවගින්…
කිසිඳු වදනක් අවදි නොකරයි ගොලුවෙලා මුව නිහඬ කරමින්…

මැයි මහේ ගස් මලින් පිරිලා තිබූ දිනයක ඔහුව සිප ගෙන…
එකම කුඩයක් බෙදා ගනිමින් අතක් බඳවට දවට ගනිමින…
තුටින් හදවත ගැහෙන රාවය පවා සිත තුල තුරුලු කරමින…
ගිය එදා හද උමතු කරවයි කඳුල නෙත් කොන සඟව ගනිමින…

සිනා පිපෙනා වසත් සමයක පුංචි පා යුග ගෙවා දමමින…
පිය නැගූ මල් මාවතක ඈ යන්නෙ තනිවම සුසුම් හෙලමින…
මගදි දුටු පෙම්වතුන් තුල වන් පෙමක මිහිරැති සුවඳ විඳිමින…
තනිව නිවඬව ඉකි බිඳී ඈ ලොවට රහසින් දුක් සඟවමින…

තනිව ඇත ඇය මරා දමමින් අහිමි වී ගිය රුදුරු ප්‍රේමය…
නැවත වරකුදු සිතෙහි නොම එනු ඇතිය ඇය දුටු නපුරු සිහිනය…
කිසිඳු තෙතමනයක් නොලද මුත් ඔහුට පෑ ඒ සොඳුරු ප්‍රේමය…
දිවියෙ දිනයක සැබෑ වනු ඇත හදෙහි රැඳි ඇගෙ සොඳුරු සිහිනය…

-සමබර-

Leave a Reply