අද සෙනසුරාදා දවස. කල්පනා තුලින් මම ගෙන එන පනස් නව වෙනි දිගහැරුමයි මේ. දැනට ම විසින් ඔබ හමුවේ තැබූ සටහන් වලට ලැබුනු ප්‍රතිචාර නම් ඇත්තෙන්ම සතුටුදායකයි. ටික කාලයක් නිහඬව ගත කරත්, ලියන්නට තියෙන ආසාව නම් ඉතින් පොඩ්ඩකින්වත් අඩුවක් නම් සිදුවෙලා නැහැ. කොහොම වුනත් මම මගේ මේ සටහනට පොඩි පිවිසුමක් ගන්නම් අපි කවුරුත් හොඳින් හඳුනන කියමනකින්.
“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන කියමන අපේ ජීවිතයට කෙතරම් දුරකට සම්බන්ධ කරගෙන තියෙනවද කියන එක ගැන පොඩ්ඩකට හිතලා බලන්න. ඇත්තෙන්ම ඔබේත් මගේත් කියවීමේ ආසාව ගැන නම් ඉතින් සැකයක් ඇතිවෙන්නට හේතුවක් නැතිවුනත් ජාතියක් රටක් ලෙස සැලකුවම කියවීමට ඇති රුචිකත්වයේ ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීම නම් තරමක අපහසු කාරණයක්.
පුරාණ කාලයේ සිටම පොතපත පරිහරනය කිරීමට අපේ මුතුන් මිත්තන් පුරුදු පුහුණු වී සිටි නිසා, කාලාන්තරයක් තිස්සේ ලද අත්දැකීම් තුලින් ඉපදුනු කියමනක් තමයි මේ කියමන.
ඇත්තෙන්ම පොතක් පතක් කියවීම තුලින් තමන් නොදන්නා මොනයම් හෝ දෙයක් ගැන යම්කිසි අදහසක්වත් ඇතිකරගන්නට හැකියාව ලැබෙන බව නම් නොරහසක්. නමුත් අද කාලය ගැන සැලකුව විට කියවීම විතරක්ම මිනිසා සම්පූර්ණ කරන්නට හේතු වෙන්නේ නැහැ. කාලයත් සමඟම නව තාක්ෂණයත් විද්‍යුත් මාධ්‍යයේද වැඩි දායකත්වයක් ඒ සඳහා ලැබීමත් කැපී පෙනෙන කාරණයක්.
උදාහරණයක් විදිහට “ඩිස්කවරි” චැනලය දක්වන්නට පුලුවන්. “ඩිස්කවරි” චැනලය මගේ නම් ජීවිතයේ හමුවුනු මම වඩාත්ම ප්‍රියකරන නොවරදවාම නරඹන චැනල අතරින් එකක්.
ලෝකයේ නානාවිද සොයා ගැනීම් පරීක්ෂණ වගේම විවිද රටවල් ස්ථාන පිලිබඳ තොරතුරුද ගොන්නක් එකට කැටිකර ප්‍රේක්ෂක අප වෙත ගෙන ඒම අතින් එම චැනලය ඉතා පොහොසත්. ඒ දේ කොහොම වුනත් කතාවෙන් කතාව මම මාතෘකාවෙන් පිට පනින හැඩක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
හරි ආයෙත් එමු කියවීම පැත්තට..ඉතින් මම කියවීම ගැන මෙච්චර වෙලා කෙතරම් කතාකරත් මාව මෙම සටහන ලියන්නට පෙළඹ වූ කාරණාව ගැන කිසිම දෙයක් සඳහන් කරේ නැහැනේ. ඔන්න ඉතින් ප්‍රදර්ශණය ඉවරවෙලා ගොඩාක් කල් ගතවුනත් කොළඹ අන්තර්ජාතික පොත් දැක්ම නිසා තමයි මේ වගේ හෙඩිමකින් මගේ සටහන හැඩ කරන්නට මට සිත්වුනේ.
දින ගණනාවක් පුරා කොළඹ BMICH හිදී පැවති මේ අතිදැවැන්ත පොත් දැක්මට ආපු පිරිසනම් අදහා ගන්නත් අමාරුයි. දින දෙකක් පුරාවට පොත් දැක්මට ගිය මගේ සිත ගත නෙත විඳි වින්දනයනම් ඇත්තටම පුදුමාකාරයි. ඉහල මාලයට වෙලා සැහෙන වෙලාවක් මේ එක දිගට තොරතෝන්චියක් නැතිව ගලන කියවීමේ රසික ගංගාව දෙස ඇසිපිය නොසලා බලා සිටි මාහට ඇතිවුනේ හුදෙක් සතුටකටත් වඩා අභිමාණයක් කීව්වොත් නිවැරදියි.
ගෙවීගිය සමයේ මම ඉන්දියාවේ ගතකල කාලය තුලදී ඔවුන් තුලින් දුටු කියවීමේ ලොල්බවට නොදෙවෙනි ලොල්බවක් මම එදා දුටුවේ මේ පුංචි ලංකාවේ අනාගතය දැක සතුටු වෙමින් වගේම ලෝකයා හමුවේ බැබළෙන ජාතියක කොටස් කරුවකු වීමට මටද ලැබී ඇති අවස්ථාව ගැන සියුම්ලෙස ආඩම්බරයක්ද වෙමින්. මෙතරම් පොත් මිලදී ගන්නා ජනකායක් ගොදුරකට පොරකන ගිජුලිහිණි රෑනක් වාගේ ඇතට දිස්වෙද්දී ඒ දෙස බලමින් සතුටු වෙනවා විනා වෙන කුමක් කරන්නද නේද?
කොහොම වුනත් කියවීම තුලින් ජීවිතය ජයගත් පිරිස නම් අනන්තයි. පාසැල් අධ්‍යාපනය නිසියාකාරව ලබන්නට වරම් නොලැබුනත් පසුකාලීනව කියවීම් පොතපත පරිශීලනය කිරීම් තුලින් බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන් වන්නට වරම් ලබාගත් පිරිසත් බොහෝය. කියවීම දරුවන්ට හුරු පුරුදු කිරීමෙහි ලා වැඩි වගකීමක්, සැමවිටම වැඩිකාලයක් ඔවුන් හා ගතකරන ආදරණීය ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට පැවරී ඇත. එලෙසම දෙමව්පියන්ටත් වැඩි වගකීමක් සැමවිටම පවතියි. කියවන දේවල් වල ගුණාත්මක බවක් තිබීමද තවත් වැදගත් කාරණයක්. ඉතා උසස් රසවින්දනයක් ඇති ජාතියක් බිහිවන්නටද එක හේතුවක් විදිහට එය දක්වන්නට පුලුවන්.
කියවන ජාතියක් අභියස ඉන්නම් සදාකල්
දුකක් නොදැක සතුටක් මිස වෙන කිසිත් නොදැනේ
නොකා නොබී හෙට මියැදුනත් සැපයි මට මේ දෙරණේ
උගත් ජාතියක දූලි පොදක් වී..ඉන්නට සදා මේ පොලොවේ
ඔබගේ නුවණ වැඩේවා!
ආයුබෝවන්!
-සමබර-
Filed under: අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර, හමුවීම්



කියවීම තමයි ඇත්තටම විනයානුකූල, ඉවසීම දන්න මිනිස්සු බිහිකරන්න මූලික දායකත්වයක් දෙන්නෙ. ඒ වුණාට ඇත්තටම දැන් ඉන්න පුංචි දරුවො ගැන නම් දුකයි. එයාලට කියවන්න වෙලාවක් නෑනේ. තියෙන වෙලාවෙදිත් මේ ළමයි රූපවාහිනියෙ එල්ලිලයි ඉන්නේ. වැඩක් ඇති දේවල් නෙවෙයි. ඔය බඩවැල් වගේ කතා වලට පවුල් පිටින් පිස්සු වැටිලා.
බොහෝම කලෙකින් යළි දකින්න ලැබීම හරිම සංතෝසයි.
හරි හරි දෑ ලියන්න. නොවරදවාම කියවනවා. ඔබට ජය.
මටනම් පොත් කියවන් එක තරම් දෙයක් තවත් නැහැ.
දැන් ඉතින් පොත් ගෙදරක නැතත් ටීවී එකක් නැත්නම් නිකන් ලැජ්ජයි වගෙ ඒක නිසා ගෙවන්න හරි ටීවී එකක් ගන්නව තියෙන පොත් ටිකත් කඩදාසි වලට හරි විකුනලා.
මේ පාර පොත් ප්‍රදර්ශනේට සෙනග අඩුයි නමුත් වෙළඳාම අඩු උනේ නැහැ කියල මට පොත් කඩේක කෙනෙක් කිව්වා
සමර බංඩාර රත්නායක, හඳුනා ගත හැකි නම් මම ඔබේ පරණ (ප්‍රාථමික පාසල් අවධියේ සිටම) මිත්‍රයෙක්. දිගටම ලියන්න. ජයෙන් ජය වේවා.
රූපවාහිනි මගින් බාල පරම්පරාව නොමග යවන මෙවන් අවධියක ඔබ වැන්නන් මෙසේ ප්‍රකාශ කිරීම අපේ ජාතියේ භාග්‍යයකි.
Reading makes you to think laterally.
Reading maketh a full man !!!
නැවතත් යමක් කියනව නම් මෑතකදි මගෙ වැඩිහිටි මිතුරෙක්ගෙ ගෙදර මම දවස් කීපයක් හිටපු වෙලේ ලබපු අත්දැකීමක් කියන්නම්. මේ ගෙදර ටීවී එකක් තිබුණට දරුවො දෙන්නට ඒක බලන්න සීමා තියෙනව. ඒ වගේම ඒ අම්මයි තාත්තයි දෙන්නත් ටීවී එක අත්‍යවශ්‍ය එකක් කරගෙන නෑ. ඒ ගැන මම එයාලගෙන් ඇහුවම එයාල කිව්වෙ පුංචි කාලෙ ඉඳන්ම දරුවො දෙන්නව රූපවාහානියට හුරු කලේ නෑ කියලයි.
මේ දරුවො දෙන්නනම් හොඳට කියවනව. පත්තර බලනව. ඒ වගේම දක්ෂයි. ගෙදර ලොකු පුස්තකාලයක් තියෙනව. දරුවන්ට වෙනම අල්මාරියක පොත් තියෙනව.
මම දැකපු සර්ව සම්පූර්ණම පවුල ඒක.
ම, හරේ, සහන්, සරත් සියලු දෙනාගෙම අදහස් වලට ස්තූතියි! මම ලියන අදහසට ඔබ සැමගේ අදහස්ද එකතු කිරීම ඉතා අගෙයි.
ගයාන් ඔබ ගැන මට මතකයි. ඔබටද සදා ජය!
අපුරු සටහනට සුභ පැතුම්. මේක කියවද්දි හා මෙතන තියෙන ප්‍රතිචාර දැක්කම මට මගේ අක්කා ගැන ලොකු ආඩම්බරයක් හිතුනා. අවු. 5ක පුතෙක් ඉන්න මගේ අක්කා ගෙදර රූපවාහිනිය දිහා එල්ලීගෙන නැහැ. අනිත් අයට එල්ලිලා ඉන්න දෙන්නෙත් නැ. කියන්න සතුටුයි එයාගේ පුතා පොත් කියවන්න හරි කැමතියි. රූපවාහිනිය එක දිගට බලන එක ඇර වෙන ඔන දෙයක් කරන්න දෙනවා ළමයට. පුතා ලගත් දැං සැහෙන්න පොත් තියෙනවා. සතුටුයි මෙවැනි සටහන් දැක්කම.