ටික කාලයක් තිස්සේ පැවති නිහැඬියාවකට පස්සේ, ඕං ආයෙමත් මම ලියන දෙවෙනි සටහන. කල්පනා තුලින් මම ඇති කරගත් සහෘද පිරිස ටිකෙන් ටික මා වෙතින් ඈත් වන හැඩක් නම් පෙනෙන්නට තිබුනත් ඔවුන් කිසිදිනෙක මගේ සටහනක් නොකියවා නොයනු ඇතියි කියලා මට විස්වාසයි. ගොඩාක් කාර්ය බහුල ජීවිතයකට කොටුවෙලා ඉඳීම තුල ම සිංහල යතුරු පුවරුව පවා දැන් අමතකවෙලා ගිහින්. ඒ දේවල් කොහොම වුනත් මගේ සහෝදර සහෝදරියන් ගොන්න නම් ලේසියෙන් අමතක කරන්න බැහැ.
ඉතින් මම මගේ සටහනට පුංචි පූර්විකාවක් විදිහට මේ වගේ කියමනක් උපුටා ගන්නම්. “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” කියලා කියමනක් අපි අහලා තියෙනවනේ. ඉතින් ඒ තුලින් කියවෙන්නේ අද උගත් දේ තුලින් හෙට දවස යහපත් එකක් කරගන්නට පිටුවහලක් ලැබෙන බවයි. අද සමාජයට මෙම කියමන කොයිතාක් දුරකට අදාල කරගන්න පුලුවන්ද යන වග දෙවරක් සොයා බැලිය යුතු කාරණයක්.
මට මේ දේවල් ගැන ලියන්නට ඔලුවට එකපාරටම අදහසක් ආවේ පසුගිය දින කීපය තුල අත්විඳි අත්දැකීමක් ගැන මෙනෙහි වෙච්ච නිසාමයි. මම ජීවිතයේ සතුටු වන කාරණා අතර එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව නම් මට ආදි නාලන්දයීයයෙක් වෙන්නට ලැබීම ගැනයි. ඉතින් මේ කියන්න යන කාරණාවත් පසුගිය දින කීපය තුල නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද අධ්‍යාපනික ප්‍රදර්ශනය පිලිබඳවයි. http://www.futureminds.lk/
ජාතියේ ඉගනීමේ පිපාසය කෙතරම්ද කියන කාරණාව බොහොම පැහැදිලිව පසක් කර ගන්නට එතනට ගිය ඕනෑම කෙනෙක්ට හැකිවන්නට ඇතැයි මම තරයේම සිතන කාරණයක්. මක් නිසාද කිව්වොත් දෙමව්පියන් මිතුරු මිතුරියන් පිරිවරාගෙන වැල නොකැඩී ඇදී ආපු ඒ ජන ගඟින් ඒ බව මනාව ඔප්පු වුනු නිසයි.
ඔවුන් දිහා පැත්තකට වී බලා ඉන්නට මගේ සිත තුලින්ම මතුවුනු කැමැත්ත මෙතෙකැයි කියන්නට බැරි තරම්. ඔවුන් විටෙක දැනුම සොයා යන උන්මත්තකයන් පිරිසක් ලෙසින්ද හඳුන්වා දෙන්නට පුලුවන්. මේ ඇදී එන්නේ ලාංකික අනාගතයේ සාඩම්බර කොටස්කාරයින් සමූහයක් නේද යන කාරණය මට වඩ වඩාත් පසක් වූයේ ඔවුන් ගේ දෑස් තුලවූ බලාපොරොත්තු එතරම් ම පැහැදිලි ව පිටතට පිලිඹිඹු වූ නිසාමයි.
ඒ දේවල් ඒ විදිහට සිත්හි රඳවගන්න ගමන් ම නූතන අධ්‍යාපන රටාව ගැන මම මේ විදිහට පිවිසුමකට එන්නම්.
අද කාලේ පහ වසරට පාස්වෙන දරුවෙක් බැරිවෙලාවත් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, බොහෝ වෙලාවට අපි තුල උත්තර නැති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි කියන කාරණාවට ඔයා මං එක්ක එකඟ වෙයි. පැරණි නිර්දේශයට අනුව නම් 11 වසර සිසුන් ඉගෙන ගත්ත දේවල් දැන් දැන් 8 වසර මට්ටමට ගෙනැවිත් තියෙන හින්දම පාසලෙන් නික්මෙන දරුවෙක් දැනුමෙන් ඉහල නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.
හැබැයි හැම දේකම හොඳ පැත්තක් වගේම අපිට නොපෙනෙන නරක පැත්තකුත් නැතුව ම නෙවෙයිනෙ නේද? මේ විදිහට විශාල දැනුම් සම්භාරයක් දරුවන්ගේ හිස් මත තැබීමෙන් ඇතැම් වෙලාවට ඔවුන් තුල ඇතිවන්නේ යාන්ත්‍රික බවක් වෙන්නට පුලුවන්. ඇතැම් වෙලාවට උකහා ගැනීමේ ශක්තිය, සිතීමේ / තීරණ ගැනීමේ ශක්තිය වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී පවා ඔවුන් දුරුවල වීමේ අවදානමක් මෙ මඟින් පෙන්නුම් කරනවා.
අනිත් බරපතලම කාරණාව වන්නේ දරුවන්ගේ බර දෙමව්පියනුත් හරි හරියට ඇදීමයි. පාසල් යන දරුවෙක් ඉන්න පවුලක දෙමව්පියන්, දරුවා හා සමානවම හෝ ඊට අඩු වැඩි වශයෙන් විෂය කාරණා පාඩම් කිරීම සුලභ කාරණයක්. මම දකින විදිහට නම් මේ තත්ත්වය මෑත කාලීනව වඩ වඩාත් ජනප්‍රිය වූවක් බව කියන්නට පුලුවන්. වාර විභාග පවත් වන දවස් වලට කන්තෝරු බහුල ලෙස පාලුවට ගිය ස්වභාවයක් ඉසිලීමත් මේ නිසා සිදුවන්නක්.
ඇතැම් වෙලාවට මේ දේවල් ගැන ඔයාටත් පෞද්ගලික අත්දැකීම් ඇති. කොහොම වුනත් සමාජය හැඩ ගැසෙන විදිහට අපිත් හැඩ ගැසෙන තත්ත්වය අප කාටත් පොදුවූ දෙයක්. මගේ මතයට අනුව නම් නූතන දරුවා දැනුම අතින් පරිපූර්න පුරවැසියෙක් කරන අතරම ඔහුව පසෙකින් ඉඳන් දක්කන විට පමණක් පාඩම් වැඩ කරන රොබෝ වරයකු නොකිරීමටද අපි සැම විටම වගබලා ගත යුතුයි.
Filed under: අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර, ළමාවිය



දිගටම ලියන්න.