අමුඩ ලේන්සුවෙන් ඩෙනිම් කලිසමට….

පොඩිඑකෙක්, අඟුරු කෑල්ලක්, රුපියල් විස්සේ නෝට්ටු තුනක් එකතු වෙලා නිමේෂයකින් මගේ ඇස් දෙක සිසාරා මවපු දසුන තුල ගැබ්වුනු අහිංසක ගැමි සුවඳක් හිමින් සීරුවේ නාස් පුඩු සිපගෙන ඇදී ගියා. කල්පනාවන් කලඹවන ඊට එහාගිය හැඟීමක් සිතට නැගෙන තරමට ම මේ පොඩිඑකාගේ අකුරු සාස්තරේ දුරුවල නිසා වෙන්න යනදේ හිතාගන්න තරමක් අමාරු උනා. බාප්පා යයි කියාගන්නා අයෙක් සල්ලි නෝට්ටු තුන අතට දුන්නම පොඩිඑකා ඒ වටිනාකම මැන්නේ ඒවගෙ ලියලා තිබුන අංකයෙන් නෙවෙයි, තමන්ගෙ කමෙනුයි.

උගේ ලෝකෙ පිරිලා තිබුනේ ගුණයෙන් මිසක් නැණයෙන් නෙවෙයි. අම්මට එහා ගිය වටිනාකමක් ඉතින් වෙන කොහෙද? අප්පත් නැතිවෙලා බාප්පෙක් ලංවුනත් අක්කට මල්ලි දුන්නේ දෙවෙනි තැනයි. ඔතනදි තමයි ඌ කතිර තුනකින් බලිකුරුටු ගාලා නෝට්ටු තුන වෙන්කරේ. “අම්මයි” “මමයි” “අක්කයි”

ඉරහඳ හැමදාම පෑයුවත් පූරුවේ කරුමෙම ඉස්සරකරගෙන ජීවිතය දිහා බලන්නට පොඩිඑකා පුරුදුවෙන්නට ඇත්තේ උගේ තිබුනු මෝඩකම හින්ද වෙන්නත් පුලුවන් නැත්නම් ජීවිතේ ඇරඹුම ම කඳුලකින් හේදෙන්නට පටන්ගත්ත හින්දම වෙන්නත් පුළුවන්. කොහොම වුනත් තිරිසන් බාප්පෙක්ගේ අඩන්තෙට්ටම් මැදින් දිරච්ච බාල්කයේ හුස්ම පොද ගැටගසා එල්ලිලා මැරුනු අක්කව නැතිවුනු දවස උගේ ඉරනම මඳකට වෙනස් කරන්නට තුඩු දෙන්න ඇති.

ජීවිතෙන් බාගයක් විතර මහඋළුගෙදර තපින්න වුන හින්දා උගේ ජීවිතේ හොඳම කාලේ, නැත්තං ළමාකාලේ ඌට නැතිවුනේ බාප්පව මරපු වරදට දඬුවමක් විදිහටයි. කොහොම වුනත් පපුව පිච්චුනේ ආදර හැඟීමකින් යන වගක් වත් හරිහැටි තේරුම් ගන්නට බැරිවුනු පොඩිඑකාගේ ජීවිතය වෙනස් කරන්නට හේතුවුනේ කවුද? “මැල් මහත්තයද?” නැත්තං “රාළහාමිද?” කියලා හොයලා බලන්න හිතෙන හැමෝටම මේ ඇවිල්ලා තියෙන්නේ සුදුසුම කාළයයි.

ඉඩෝර බිමට බට වරුසාවකට පස්සේ පිටවෙන මැටි පුසුබ හඳුනන, මඩ තැවරුණු දෙපා ඇති ඕනම කෙනෙකුට තෘප්තිමත් වෙන්නට හැකි තරමේ සිනමා කෘති රැසක් දැන් දැන් කරළියට එන්නේ මියයන ලාංකේය සිනමාවට පන පොවන ලෙසකිනුයි. ජාතියේ වාසනාවට ප්‍රතිභා පිරි නාට්ටි කාරයන් බිහිවන අතරතුර ඒ විදිහේ සිනමා කාරයනුත් තැනින් තැනින් මතුවෙන එක සුබ නිමිත්තක් විදිහට සලකන්න පුලුවන්.

මෙච්චර අටුවා ටීකා ගොන්නක් ලිව්වේ වෙන දෙයක් ගැන කියන්න නෙවෙයි “බඹර වළල්ල” නම්වුනු ඒ සිනමා කෘතිය පුරාවට මම විඳපු අත්දැකීම ඉදිරිපත් කරන්නයි. නළුවෙකු විදිහට අතුල ලියනගේ තුලින් අත්විඳි ප්‍රතිභාව ඊට ඔබ්බට ගිය සිනමා අධ්‍යක්ෂක වරයෙක් තරම් සංකීර්ණ පරාසයක් සිසාරා විහිදී යන අපූරුව මනාව දැකබලාගන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ කෘතිය සලකන්න පුලුවන්. ඒකාකාරී සිනමා කෘතීන් නිසා ඇල්මැරුණු ලාංකික සිනමා කෙත අස්වද්දන්නට ජවය තියෙන මෙවන් තරුණ සද්දන්තයින් අපේ රටට තවතවත් වුවමනා යන වගනම් කියන්නට ඕනෙ.

එහෙනං, අමුඩ ලේන්සුවෙන් ඩෙනිම් කලිසම තෙක් පොඩිඑකාව ඔසවා තබන අපූරුව නරඹන්න පුළුවන් වෙලාවක නොවරදවාම යන්න.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.