මට මතක අවුරුද්ද

අද හෙටම උදාවෙන සිංහල අලුත් අවුරුද්ද, මම කුඩාකාලෙදි දැකපු රසවිඳපු හැටි ගැන ලියන්න ඕන කියලා හිතුනා.

මම ගැන, මගේ ළමාකාලය ගැන පොඩි සටහනකින් ම ලියන්න පටන්ගන්නම්.

මුලින්ම කියනවනම්, මම ඉපදුනේ, හැදුනේ, වැඩුනේ කොළඹ.

මගේ අම්මා රැකියාවෙන් ගුරුවරියක්. එසේ මෙසේ ගුරුවරියක් නම් නෙවෙයි, අවුරුදු 37ක ගුරුසේවයක් හමාර කර විශ්රාම ගිය ගුරු මාතාවක්. ඉතින් මගේ අම්මගේ ගම් පළාත, ගාල්ලේ පිලාන කියන ප්රදේශය.

එතකොට මගේ තාත්තා ගැන කියනවනම් තාත්තා රැකියාවෙන් ගොඩනැගිලි කොන්ත්රාත් කරුවෙක්. තාත්තගෙ නමින් ආයතනයක් පවත්වගෙන යනවා.
තාත්තගේ ගම් පළාත තමයි වාලවෙල. වාලවෙල කිව්වහම ඔයාට සමහරවිට නුහුරු ඇති, වාලවෙල තියෙන්නෙ මාතලේ දිස්ත්රික්කයේ.

ඔයාට හිතුනෙ මම පවුලෙ එකම ළමයා කියල නම්, ඒක වැරදියි. එහෙම නෙවෙයි මම ඇරුනම මට සහෝදර සහෝදරියො හැමෝටම කියල අක්කා කෙනෙක් ඉන්නවා. අක්කා වෘත්තියෙන් දන්ත ශෛල්ය වෛද්ය වරියක් (Dental surgeon). එයා මට වඩා අවුරුදු 8ක් ම වැඩිමල්. ඔන්න ඔය විදිහට සැකසුනු පවුලක බාලයා නැත්තං “බඩපිස්සා” තමයි මම.

පුතෙක් ලැබෙන්න කියලා රටවටේටම බාර වුනා කියලා අම්මා කීපවතාවක්ම කියනවා මට ඇහිල තියෙනවා. ඉතින් ඔය විදිහට බොහොම වෙහෙස මහන්සිවෙලා තමයි මගේ අම්මයි තාත්තයි මාව ලබාගෙන තියෙන්නේ. කොහොමහරි ඔය විදිහට මගේ දෙමව්පියන්ට පිං සිද්දවෙන්න, මම මේ ලෝකෙ එළිය දකින්නට තරම් වාසනාවන්ත වුනා.

මම ඉපදෙනකොට මගේ අක්කා 3 වසරේ තමයි ඉඳලා තියෙන්නෙ, ඉතින් මම 3 වසරට එනකොට අක්කා කොච්චර ලොකුද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඔය කාරණය හින්දම මම මගේ පවුලේ අය අතර සුරතලා බවටද පත්වුනා.

ඉතින් මට යාන්තම් තේරෙන කාලෙ වෙනකොට මම ගොඩාක් දේවල් හොඳින් අවබෝධ කරගත්තා, ඒ වගේම සුන්දර ස්වභාවික දේවලුත් හොඳට රසවින්දා. ඔයාට මට වගේම මේ ලෝකෙ ඉන්න කාටත් පොඩිකාලෙදි මුනගැහෙන වැඩිහිටියන්, හරියට වීරවරයන් වගේ තමයි පේන්නෙ. ඉතින් ඔය වැඩිහිටියන් අතර සීයාට හිමිවෙන්නෙ ගොඩාක් සුවිශේෂ වුන තැනක්.

එහෙම නේද?

මතකද ඔයා පොඩිකාලෙදි, සීයා එක්ක සෙල්ලම් කරපු හැටි, සීයාගෙන් කතන්දර අහපු හැටි, සීයගෙ කරේ වාඩිවෙලා ඇවිදින්න ගියහැටි. ඒකාලෙ මට වගේම ඔයාටත් හොඳට මතක ඇති නේද? ඇත්තටම අදටත් මම නිරහංකාරවම සතුටුවෙනවා ඒ කාලෙ ගැන මතක් කරලා. හැබැයි මම උපන්දා ඉඳලා මට සෙවනැල්ලක් වගේ ආදරයෙන් හිටියෙ එක සීයා කෙනෙක් විතරයි. ඒ සීයා තමයි මගේ “ගාල්ලෙ සීයා”.

ඒ මොකද එක සීයා කෙනෙක් කියලා ඔයාට දැන් ගැටලුවක් නේද?

ඇත්තටම මම ඒ විදිහට කිව්වෙ මගේ තාත්තගෙ තාත්තා, තාත්තා පොඩි කාලෙදිම නැතිවෙච්ච නිසා. ඉතින් මම “සීයා” කියලා සැලකුවේ මගේ “ගාල්ලෙ සීයා” ව තමයි. කොහොමහරි “ගාල්ලෙ සීයා” කියන්නෙ ගොවියන්ගෙනුත් ගොවිරජෙක් කිව්වොත් හරි. මොකද මහා පරිමාණයේ කුඹුරු රැසකට “සීයා” හිමිකම් කියපු නිසා.

මම උපන් දවසේ මුලින්ම මගේ මූණ බලලා සතුටු වෙලා තියෙන්නෙත් “ගාල්ලෙ සීයා” කියල තමයි දවසක් අම්මා මට කිව්වෙ. “හා ඔය ඉන්නෙ රජෙක් වගේ” කියලා කකුල බිම ගහලා සතුටුවුනා කියලා නිතරම අම්මා කියනවා.

කොහොමහරි මම පොඩිකාලෙ ඉඳන් ම කොළඹ හිටපු නිසා “ගාල්ලෙ සීයා” මාව බලන්න කදමලු බැඳගෙන ම එනවා අවුරුද්ද කිට්ටුකරලා. ඔය අතරෙ කජු පුහුලං අරගෙන එන්න වරද්දන්නෙම නැහැ. “ෂා කජුපුහුලං” මම දන්නවා ඔයාගෙ කටට දැන් කෙල උනන්න පටන්ගත්ත කියලා. ඔය විදිහට ම තමයි මටත් සිද්දවුනේ. ඉතින් “සීයා” ආවෙනැහැ කියන්නෙ අවුරුදු ආවෙනැහැ වගේ.

එහෙනම් මට මතක අවුරුද්දෙ එක කොටසක් මම මෙතනින් හමාර කරනවා. ඊළඟ කොටස හෙට ලියන්නම්. මගේ අවුරුදු අත්දැකීම් කියවලා ඔයා සතුටු වුනානම් ඒකමයි මගෙත් සතුට. :) හෙටත් එන්න හොඳේ.



ඔන්න ඉතින් දවස් දෙකකට පස්සේ ආපහු “මට මතක අවුරුද්ද” ගැන ලියන්න පටන්ගත්තා.

පහුගිය දවස් දෙකම අවුරුද්දට අස් කරන වැඩවලට ගතවුනා. දැන්තමයි ඉතින් පොඩි විවේකයක් ලැබුනේ.

මම අන්තිමට නතර කරපු තැනින් අද පටන් ගන්නම්. ඔන්න ඉතින් “ගාල්ලේ සීයා” මාව බලන්න එනවා කියලා කිව්වෙ මම, අවුරුදු කිට්ටුකරලා. එතකොට කජු පුහුලම් ගොඩාක් ගේනවත් කිව්ව නේද?

දවසක් ඔයවගේ කජු ගෙනාපු වෙලාවක සිද්ද වෙච්චි රසවත් සිදුවීමක් තියනවා. ඇත්තටම මම ගොඩාක් පුංචි කාලෙ තමයි මේක සිද්ද වුනේ.

ඔන්න ඉතින් සීයා ඇවිත් අම්මා එක්ක ගෙයි ඉස්සරහට වෙලා ආගිය තොරතුරු කතා කරකර ඉන්න වෙලාවක, මම පොඩි හොරවැඩක් කරන්න පටන් ගත්තා. මොකක්ද වැඩේ කියනවනම්, “කජු කන වැඩක්”. අපි නිතරම ලේසි දේකට “කජු කනවා වගේ” කියලා කියනවනෙ. ඉතින් ඒ වගේම මමත් කජුකෑවා, හැබැයි කජු මද නෙමෙයි මුලු ගෙඩියම ලෙලි පිටින්ම. :D

මුලින්ම ඉතින් දොර මුල්ලකට මුවා වෙලා වැඩකරු වගේ කන්න පටන්ගත්තා විතරයි, කට පුරා කජු කිරි වැක්කෙරුනා.
මුලු කටම පිච්චුනා වගේ උනා. මම කරපු හොර වැඩේ තවදුරටත් හොර වැඩක් විදිහට පැවතුනේ නැහැ. එකපාරටම මම මරලතෝනි දීලා කෑ ගහන්න පටන් ගත්තා.

සාලේ හිටපු සීයයි අම්මයි හොඳටම බයවෙලා දුවගෙන ආවා.

“මොකද මොකද පුතේ කියලා” දෙන්නම එකපාරටම ඇහුවා. හැබැයි දෙන්නටම මගේ අතේ තිබ්බ කජු ගෙඩිය දැක්ක ගමන් වැඩේ තේරුනා. මම අඬන එක පැත්තකින් තියලා දෙන්නම හිනාවෙනවා. :D “හොඳ පාඩම හොරෙන් කජු කනවට” කියලා අම්මා කිව්වත් ඒ තරහකට නෙවෙයි. කටට ඒ වෙලාවෙම අම්මා බෙහෙත් දැම්මා. ඔය සිද්දිය අදටත් මට කජු දකින හැම මොහොතකම මතක් වෙනවා.

මට වෙලාවකට හිතෙන්නේ ජීවිතය කියන්නේ පුදුම අත්දැකීම් තොගයක එකතුවක් කියලයි.

ඉතින් සීයා ආවහම මම සීයට මගේ කාමරේ ලෑස්තිකරලා දෙනවා නිදාගන්න. අත් තියන සුදු බැනියමකින් නිතරම සැරසී සිටින සීයා, පෙනුමෙන් මුහන්දිරම් කෙනෙක්ටත් දෙවෙනි නොවෙන තරමටම තේජවන්තයි.

මම පොඩිකාලෙ අපේ මිදුලෙ ලොකු කොස්ගහක් තිබුනා. ඉතින් හොඳ ලොකු අත්තකට නැඟලා සීයා මට ඔන්චිල්ලාවක් බැඳලා දෙන්න වරද්දන්නෙම නැතිතරම්. එහෙම බැරිවෙලාහරි වැරදුනත් මගේ තියෙන ඇවිටිල්ල නිසාම සීයාට මගේ ඉල්ලීම අහක දාන්න බැරිවෙනවා.



ලැබුවාවූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔන්න ඉතින් දැන්තමයි අවුරුදු නැකත් හමාර කරලා සටහන ලියන්න පටන් ගත්තේ. මට හරියට මහන්සියි කෑම පිඟන් අරගෙන ගෙවල් ගානේ ගිහිල්ලා.

කොහොමහරි සීයට කියලා ඔන්චිල්ලාව බැඳගත්ත කතාව මතකයි නේද? අර ලිං වල බොලොක්කෙට දාන ලොකු ලණු දන්නවා නේද? මම බට්ටා වගේ වේගෙන් කඩේට දුවලා ගිහින් ඔය ලණු කැරැල්ලක් අරගෙන ඒක උරහිසේ එල්ලගෙන වේගෙන් ආපස්සට දුවලා එනවා. ඇවිත් සීයට දුන්නම සීයා තාත්තත් හවුල් කරගෙනම මට ඔන්චිල්ලාව බැඳලා දෙනවා.

මට පදින්න දෙන්න ඉස්සෙල්ලා, ඒ දෙන්නා පැදලා බලනවා හයිය කොහොමද කියලා. ඊට පස්සෙ ඉතින් අක්කයි මායි දෙන්නා තල්ලු දාගෙන දිගටම ඔන්චිලි පදිනවා. අපි දෙන්නට අමතරව මගේ පොඩිකාලෙ හිටපු හොඳම යාලුවත් එකතු වෙනවා. එයා තමයි “පුබුදු”. පොඩිකාලෙ අපි දෙන්න එකතු වෙලා මුලු ගමම පෙරලනවා ඉතින්. ඇත්තටම ඒ මතකයන් හරිම සුන්දරයි.

පුබුදු දැනට අවුරුදු හයකට විතර උඩදි අපේ පැත්ත දාලා යන්න ගියා. ඒත් තාමත් අපි හොඳ යාලුවො තමයි. අපි දෙන්නා එකතුවෙලා අම්මලගෙන් අඬලා අඬලා සල්ලි ඉල්ලගෙන රතිඤ්ඤා ඇති තරම් අරගෙන එනවා. ඇවිත් ඒවා සාමාන්ය විදිහට නෙවෙයි ගොඩක් වෙලාවට පත්තු කරන්නේ. සැමන් ටින් එකක් අරගෙන රතිඤ්ඤා එකක් ඒක ඇතුලට දාලා නූලට ගිනි තියලා දුවනවා. :D එතකොට “ඩෝං” ගාලා රතිඤ්ඤා කරල පත්තුවෙන වේගෙට සැමන් ටින් එක උඩටම විසිවෙනවා. ඉතින් ඔය වගේ දේවල් කරලා ගුටි කාපුවා කියලා නිමකරන්න බැරි තරම්. :)

පාරෙ මුල්ලක හැංගිලා ඉඳලා “කොහා” වගේ කෑ ගහනවා මිනිස්සු යනකොට. එතකොට මිනිස්සු වටපිට බලනවනේ ඒ වෙලාවට අපි දෙන්නටම හරිම ජොලි. :D ඔයවගේ දඟවැඩ කෝටියයි පොඩි දවස්වල.

ඔය අතරේ අම්මා කතා කරනවා. කතා කරලා එක එක වැඩ කරව ගන්නවා මට කියලා. මමත් ඉතින් අම්මගෙ වැඩවලට උදව් කරනවා.

ඒ විදියට කරන උදව් අතර අම්මට “හුඹස් මැටි” කඩලා දෙන එක තමයි අපි ආසම කරන වැඩේ. තාච්චියයි උදැල්ලයි ගෙනිහින් හුඹස් මැටි ටිකක් කඩාගෙන එනවා. ඒවා අම්මට දීලා අපිත් යනවා කරන වැඩේ බලන්න. අපේ ගෙදර කුස්සි කීපයක්ම තියෙනවා. ඒ අතරින් මමත් අම්මවගේම ගොඩාක් ආසකරන්නේ ගෙයින් පිටත තියන පොඩි කුස්සියටයි. ඒක මැටි පිරියම් කරලා හදපු දර ලිපකින් සමන්විතයි. ඒ ලිපේ උයන කෑම කන්නත් අපි හරි ආසයි.

අපි කඩාගෙන ආපු “හුඹස් මැටි” ටික වතුරත් එක්ක කලවම් කරන අම්මා, හොඳින් අත් සෝදාගෙන ඇවිත් තමන්ගේම දෑතින් ලිප සකස් කරන හැටි බලද්දි සිතට හරි ආසාවක් ඇතිවෙනවා.

ඒ විදියට ලිප සකස් කරන අම්මා, කොටාගෙන ආපු හාල්පිටිවලින් කැවුම් හදන එක තමයි මුලින්ම කරන දෙය. ඇස්වහක් කටවහක් නැහැ, මගේ අම්මට රසට කැවුම් හදන්න පුලුවන්. මම කැවුම් කියලා කන්න ආස, අම්ම හදන කැවුම් විතරයි.

එහෙනම් අදට මම සටහන මෙතනින් නවත්තනවා. හෙට තවත් කොටසක් ලියන්නම් හොඳේ.

දැන්නම් මට ටිකක් නිදිමතයි. සුබ රාත්රියක්! ඔයාට.

2 Responses to “මට මතක අවුරුද්ද”

  1. මම ආසාවෙන් කියවන blog එකක්. හැමදාම බලනවා අලුත් post එකක් තියෙනවද? කියලා.

    නියමයි!!. හැමදාම ලියන්න. හැමදාම එනවා බලන්න.

  2. අවුරුදු මතකයන් අගෙයි.අර කජු කන්න ගිහින් උන අකරතැබ්බය වගේ යමක් , කජු පුච්චන්න ගිහින් ඇති උනා,ඒකත් සම්බන්ද බොහොම ලස්සන මතකයන් බොහොමයක් හිතේ ඇඳුනා
    ස්තූතියි. කියවන්න යමක් ලියන ඔබට
    දිගටම ලියන්න ඉතුරු ටිකත්

Leave a Reply