දවස නම් සෙනසුරාදා. සෙනසුරාදා මම ගත කරන්නේ ඉතින් සුපුරුදු විදිහට ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය නැත්නම් දන්න විදිහට කිව්වොත් NIBM ආයතනයේ. හවස හතරේ කණිසම පොඩ්ඩක් පන්නපු ගුරුතුමා පන්තිය හමාර කරන්නට සැරසුනේ එළඹෙන සතිය සුබදායී වෙන්න කියලා පතන ගමන්මයි. ඔක්කොම කට්ටිය හෙමින් හෙමින් විසිරිලා නොපෙනී යන්නට ගතවුනේ කෙටි කාළයක්. මමයි මගේ අනිත් සගයන් තුන් දෙනයි අපේ කණ්ඩායමේ යෙහෙළියෝ කීපදෙනෙකුයි විජේරාම හන්දිය හරියට හෙමිහිට ඇවිද ගෙන ආවේ “එසයින්මන්ට්” එක ගැන විස්තර කතා කරන ගමනුයි.
කට්ටිය එක්ක කතා කරන්න තියන ඕන කම හින්දම මම ගොඩක් වෙලාවට පන්ති යන්නේ බස් එකේ. එසයින්මන්ට් ඉතින් වාහන එලවන ගමන් කරන්න පුලුවන් කමක් නැහැනේ. ඉතින් අපි ඔය විදිහට විජේරාම හන්දියට ආවේ කතාකරන ගමන් චොකලටුත් කන ගමන්මයි. ආ කියන්න බැරි වුනානේ චොකලට් කොහෙන්ද ලැබුනේ කියලා. අපේ කන්ඩායමේ ඉන්න එක යෙහෙළියෙකුගේ තාත්තා රට ඉඳන් එද්දි ගෙනාපුවා.
ඉතින් කට්ටිය හන්දියට ආවට පස්සේ වම දකුණ මාරුවෙලා වගේ එක එක පැතිවලට කැරකි කැරකි කතාව මෙලෝ සිහියක් නැතුව. එක පාරටම අපේ කට්ටිය අතරින් එක් අයෙක් අපි බී.එම්.අයි.සී.එච්. යමු කියලා යෝජනා කරේ නොහිතපු විදිහටයි. මොකද බී.එම්.අයි.සී.එච්. යන්නේ? මොනවද අද ඒකේ තියෙන්නේ කියලා තවත් එක්කෙනෙක් පෙරලා විමසන්නට වුනා. “අද තියෙනවා හොඳ ප්‍රදර්ශනයක් මොකද කියන්නේ කට්ටියම යමුද?” කියලා යෝජනාවක් මතු වුනා. “හරි අවුලක් නැහැ එහෙනම් යමුකෝ” කියලා කට්ටියම ඉදිරියට ඇදෙන්නට පටන්ගත්තා.
ටික දුරක් ඉදිරියට ඇදෙන කොට “දෙබරෙට ගල් ගැහුවම” වගේ ඇවිස්සුන සෙනඟක් දකින්නට ලැබුනා. පිවිසුම් දොරටුව තුල අධික තද බදයක් පැවතුනේ අපි හැමෝටම පුදුමයකුත් ජනිත කරමිනුයි. “ආ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නේද?” කියලා කට්ටියම එක පාරටම කතා වෙන්න පටන් ගත්තා.
දකින ඇසකට ප්‍රිය උපදවන, සිතන සිතකට සහනයක් ගෙනදෙන, තමන්ට රට වෙනුවෙන් ආඩම්බරයක් ඇති කරවන ඒ පින්බර පොත් දැක්ම ගැනයි මේ සටහන. ඉතින් ටිකට් පත් කීපයක් ගත් අපිට ඇතුලට යන්න ලැබුනේ සියුම් යුද්ධයක් කිරීමෙන් අනතුරුවයි. පොත් කිව්වම අපේ අයට පිස්සුවක් වගේ කියලයි එතනට ඇතුලුවෙන ඕනෑම කෙනෙක්ට හැඟී යන්නේ. ගොඩාක් පිස්සු විනාශකාරී වුනත් මේ පිස්සුවනම් අඩු වැඩි වශයෙන් හැම කෙනෙක්ම හදා ගත යුතුම එකක්.
ඉතින් අපි හෙමින් හෙමින් ශාලාව ඇතුලට ඇතුලු වුනේ සෙනඟ ගඟ යාන්තම් පීරාගෙනයි. ඇතුලුවුන තැන ඉඳන් එක දිගටම කොටු කරපු පොත් කඩ. මොකට යනවද මොකෙන් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැරි වුන අපි හෙමින් හෙමින් පොත් කඩ කීපයකට ඇතුලු වුනා. හිසේ කෙස්ගානට පොත් “මගෙ අම්මේ ඔක්කොම ගන්න හිතෙනවා දැක්කම”. ඒත් ඉතින් දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම එක පාරට බදා ගත්තොත් එකක් වත් ගන්න වෙන්නෙ නැති හින්දා “අපි අද ටිකක් ඇවිදලා යමු ලබන සතියෙ ගමු” කියලා ඔක්කොමල්ලා තීරණයකට එළඹුනා.
ඉතින් පුරා පැය කීපයක් අපි පොත් අතරේ, පොත් රසිකයන්ගේ අතරේ ඔබ මොබ ඇවිද්දේ කියන්නට බැරි තරම් සන්තෝසයකිනුයි. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විතව ඉතා හොඳින් සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශනය ඇත්තටම අප රට සතු සම්පතක් කියලා හැම සිතකම හැඟී යනවා නොඅනුමානයි.
බාල, තරුණ, වැඩිහිටි කියලා භේදයකින් තොරව හරි හරියට පොත් තේරීමෙහි නිරතව සිටි පිරිස දෙස බැලුවම අනාගතය ගැන සිනහ පහල කරන්නට පහසුවෙන්ම හැකියාවක් ලැබෙනවා. කුඩා ළමයි පාසැල් පොත් තෝරද්දී තරුණයන් නවකතා කෙටිකතා සාහිත්‍ය විචාර ආදිය තෝරනවා. ඔය අතරේ වැඩිහිටි අය බොදු පොත පත අරගෙන එහෙට මෙහෙට පෙරලමින් පිටු අතරේ සිය දුරුවල නෙත් ඔබ මොබ ගෙනයනවා.
ඇත්තටම පුදුම සතුටක් තමයි හිත ඇතුලේ මෝදු වෙන්නේ. මෙවන් අගනා ප්‍රදර්ශනයක් මම නම් දකින්නේ යුගයේ අවශ්‍යතාවයක් වගේම අනාගතයට රන් දොරටු විවර කිරීමක් විදිහටයි. ටිකෙන් ටික අඳුරෙන් වටපිටාව වෙළාගනිද්දී අපි ගෙවල් වලට යන්න සැරසුනේ පැමිනෙන සතියේදී නැවතත් පොත් ගන්නට යන්න කතිකා කරගනිමිනුයි. කියපු විදිහටම අපි නැවතත් ප්‍රධර්ශනයට ගිහින් අපිට අවැසි පොත් කීපයක්ම මිලදී ගත්තා.
මිනිසා සම්පූර්ණ අයෙකු කරනට කියවීමේ වැදගත්කම කොතරම් බලපාන්නේදැයි එතැනට ගිය හැම කෙනෙකුටම සිතෙන්නට ඇතුවාට කිසිම සැකයක් නැහැ. ඇත්තටම එහෙම බැලුවම මෙය වාර්ෂික සුහද හමුවක්ම තමයි, එහෙම නේද?
Filed under: අල්ප කල්පනා, කාලීන කල්පනා, විචාර, හමුවීම්, ළමාවිය | Leave a comment »