අමුඩ ලේන්සුවෙන් ඩෙනිම් කලිසමට….

පොඩිඑකෙක්, අඟුරු කෑල්ලක්, රුපියල් විස්සේ නෝට්ටු තුනක් එකතු වෙලා නිමේෂයකින් මගේ ඇස් දෙක සිසාරා මවපු දසුන තුල ගැබ්වුනු අහිංසක ගැමි සුවඳක් හිමින් සීරුවේ නාස් පුඩු සිපගෙන ඇදී ගියා. කල්පනාවන් කලඹවන ඊට එහාගිය හැඟීමක් සිතට නැගෙන තරමට ම මේ පොඩිඑකාගේ අකුරු සාස්තරේ දුරුවල නිසා වෙන්න යනදේ හිතාගන්න තරමක් අමාරු උනා. බාප්පා යයි කියාගන්නා අයෙක් සල්ලි නෝට්ටු තුන අතට දුන්නම පොඩිඑකා ඒ වටිනාකම මැන්නේ ඒවගෙ ලියලා තිබුන අංකයෙන් නෙවෙයි, තමන්ගෙ කමෙනුයි.

උගේ ලෝකෙ පිරිලා තිබුනේ ගුණයෙන් මිසක් නැණයෙන් නෙවෙයි. අම්මට එහා ගිය වටිනාකමක් ඉතින් වෙන කොහෙද? අප්පත් නැතිවෙලා බාප්පෙක් ලංවුනත් අක්කට මල්ලි දුන්නේ දෙවෙනි තැනයි. ඔතනදි තමයි ඌ කතිර තුනකින් බලිකුරුටු ගාලා නෝට්ටු තුන වෙන්කරේ. “අම්මයි” “මමයි” “අක්කයි”

ඉරහඳ හැමදාම පෑයුවත් පූරුවේ කරුමෙම ඉස්සරකරගෙන ජීවිතය දිහා බලන්නට පොඩිඑකා පුරුදුවෙන්නට ඇත්තේ උගේ තිබුනු මෝඩකම හින්ද වෙන්නත් පුලුවන් නැත්නම් ජීවිතේ ඇරඹුම ම කඳුලකින් හේදෙන්නට පටන්ගත්ත හින්දම වෙන්නත් පුළුවන්. කොහොම වුනත් තිරිසන් බාප්පෙක්ගේ අඩන්තෙට්ටම් මැදින් දිරච්ච බාල්කයේ හුස්ම පොද ගැටගසා එල්ලිලා මැරුනු අක්කව නැතිවුනු දවස උගේ ඉරනම මඳකට වෙනස් කරන්නට තුඩු දෙන්න ඇති.

ජීවිතෙන් බාගයක් විතර මහඋළුගෙදර තපින්න වුන හින්දා උගේ ජීවිතේ හොඳම කාලේ, නැත්තං ළමාකාලේ ඌට නැතිවුනේ බාප්පව මරපු වරදට දඬුවමක් විදිහටයි. කොහොම වුනත් පපුව පිච්චුනේ ආදර හැඟීමකින් යන වගක් වත් හරිහැටි තේරුම් ගන්නට බැරිවුනු පොඩිඑකාගේ ජීවිතය වෙනස් කරන්නට හේතුවුනේ කවුද? “මැල් මහත්තයද?” නැත්තං “රාළහාමිද?” කියලා හොයලා බලන්න හිතෙන හැමෝටම මේ ඇවිල්ලා තියෙන්නේ සුදුසුම කාළයයි.

ඉඩෝර බිමට බට වරුසාවකට පස්සේ පිටවෙන මැටි පුසුබ හඳුනන, මඩ තැවරුණු දෙපා ඇති ඕනම කෙනෙකුට තෘප්තිමත් වෙන්නට හැකි තරමේ සිනමා කෘති රැසක් දැන් දැන් කරළියට එන්නේ මියයන ලාංකේය සිනමාවට පන පොවන ලෙසකිනුයි. ජාතියේ වාසනාවට ප්‍රතිභා පිරි නාට්ටි කාරයන් බිහිවන අතරතුර ඒ විදිහේ සිනමා කාරයනුත් තැනින් තැනින් මතුවෙන එක සුබ නිමිත්තක් විදිහට සලකන්න පුලුවන්.

මෙච්චර අටුවා ටීකා ගොන්නක් ලිව්වේ වෙන දෙයක් ගැන කියන්න නෙවෙයි “බඹර වළල්ල” නම්වුනු ඒ සිනමා කෘතිය පුරාවට මම විඳපු අත්දැකීම ඉදිරිපත් කරන්නයි. නළුවෙකු විදිහට අතුල ලියනගේ තුලින් අත්විඳි ප්‍රතිභාව ඊට ඔබ්බට ගිය සිනමා අධ්‍යක්ෂක වරයෙක් තරම් සංකීර්ණ පරාසයක් සිසාරා විහිදී යන අපූරුව මනාව දැකබලාගන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ කෘතිය සලකන්න පුලුවන්. ඒකාකාරී සිනමා කෘතීන් නිසා ඇල්මැරුණු ලාංකික සිනමා කෙත අස්වද්දන්නට ජවය තියෙන මෙවන් තරුණ සද්දන්තයින් අපේ රටට තවතවත් වුවමනා යන වගනම් කියන්නට ඕනෙ.

එහෙනං, අමුඩ ලේන්සුවෙන් ඩෙනිම් කලිසම තෙක් පොඩිඑකාව ඔසවා තබන අපූරුව නරඹන්න පුළුවන් වෙලාවක නොවරදවාම යන්න.

කියවීම පිස්සුවක් කරගත් පින්බර ජාතියක වාර්ෂික සුහද හමුව…

දවස නම් සෙනසුරාදා. සෙනසුරාදා මම ගත කරන්නේ ඉතින් සුපුරුදු විදිහට ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය නැත්නම් දන්න විදිහට කිව්වොත් NIBM ආයතනයේ. හවස හතරේ කණිසම පොඩ්ඩක් පන්නපු ගුරුතුමා පන්තිය හමාර කරන්නට සැරසුනේ එළඹෙන සතිය සුබදායී වෙන්න කියලා පතන ගමන්මයි. ඔක්කොම කට්ටිය හෙමින් හෙමින් විසිරිලා නොපෙනී යන්නට ගතවුනේ කෙටි කාළයක්. මමයි මගේ අනිත් සගයන් තුන් දෙනයි අපේ කණ්ඩායමේ යෙහෙළියෝ කීපදෙනෙකුයි විජේරාම හන්දිය හරියට හෙමිහිට ඇවිද ගෙන ආවේ “එසයින්මන්ට්” එක ගැන විස්තර කතා කරන ගමනුයි.

කට්ටිය එක්ක කතා කරන්න තියන ඕන කම හින්දම මම ගොඩක් වෙලාවට පන්ති යන්නේ බස් එකේ. එසයින්මන්ට් ඉතින් වාහන එලවන ගමන් කරන්න පුලුවන් කමක් නැහැනේ. ඉතින් අපි ඔය විදිහට විජේරාම හන්දියට ආවේ කතාකරන ගමන් චොකලටුත් කන ගමන්මයි. ආ කියන්න බැරි වුනානේ චොකලට් කොහෙන්ද ලැබුනේ කියලා. අපේ කන්ඩායමේ ඉන්න එක යෙහෙළියෙකුගේ තාත්තා රට ඉඳන් එද්දි ගෙනාපුවා.

ඉතින් කට්ටිය හන්දියට ආවට පස්සේ වම දකුණ මාරුවෙලා වගේ එක එක පැතිවලට කැරකි කැරකි කතාව මෙලෝ සිහියක් නැතුව. එක පාරටම අපේ කට්ටිය අතරින් එක් අයෙක් අපි බී.එම්.අයි.සී.එච්. යමු කියලා යෝජනා කරේ නොහිතපු විදිහටයි. මොකද බී.එම්.අයි.සී.එච්. යන්නේ? මොනවද අද ඒකේ තියෙන්නේ කියලා තවත් එක්කෙනෙක් පෙරලා විමසන්නට වුනා. “අද තියෙනවා හොඳ ප්‍රදර්ශනයක් මොකද කියන්නේ කට්ටියම යමුද?” කියලා යෝජනාවක් මතු වුනා. “හරි අවුලක් නැහැ එහෙනම් යමුකෝ” කියලා කට්ටියම ඉදිරියට ඇදෙන්නට පටන්ගත්තා.

ටික දුරක් ඉදිරියට ඇදෙන කොට “දෙබරෙට ගල් ගැහුවම” වගේ ඇවිස්සුන සෙනඟක් දකින්නට ලැබුනා. පිවිසුම් දොරටුව තුල අධික තද බදයක් පැවතුනේ අපි හැමෝටම පුදුමයකුත් ජනිත කරමිනුයි. “ආ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නේද?” කියලා කට්ටියම එක පාරටම කතා වෙන්න පටන් ගත්තා.

දකින ඇසකට ප්‍රිය උපදවන, සිතන සිතකට සහනයක් ගෙනදෙන, තමන්ට රට වෙනුවෙන් ආඩම්බරයක් ඇති කරවන ඒ පින්බර පොත් දැක්ම ගැනයි මේ සටහන. ඉතින් ටිකට් පත් කීපයක් ගත් අපිට ඇතුලට යන්න ලැබුනේ සියුම් යුද්ධයක් කිරීමෙන් අනතුරුවයි. පොත් කිව්වම අපේ අයට පිස්සුවක් වගේ කියලයි එතනට ඇතුලුවෙන ඕනෑම කෙනෙක්ට හැඟී යන්නේ. ගොඩාක් පිස්සු විනාශකාරී වුනත් මේ පිස්සුවනම් අඩු වැඩි වශයෙන් හැම කෙනෙක්ම හදා ගත යුතුම එකක්.

ඉතින් අපි හෙමින් හෙමින් ශාලාව ඇතුලට ඇතුලු වුනේ සෙනඟ ගඟ යාන්තම් පීරාගෙනයි. ඇතුලුවුන තැන ඉඳන් එක දිගටම කොටු කරපු පොත් කඩ. මොකට යනවද මොකෙන් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැරි වුන අපි හෙමින් හෙමින් පොත් කඩ කීපයකට ඇතුලු වුනා. හිසේ කෙස්ගානට පොත් “මගෙ අම්මේ ඔක්කොම ගන්න හිතෙනවා දැක්කම”. ඒත් ඉතින් දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම එක පාරට බදා ගත්තොත් එකක් වත් ගන්න වෙන්නෙ නැති හින්දා “අපි අද ටිකක් ඇවිදලා යමු ලබන සතියෙ ගමු” කියලා ඔක්කොමල්ලා තීරණයකට එළඹුනා.

ඉතින් පුරා පැය කීපයක් අපි පොත් අතරේ, පොත් රසිකයන්ගේ අතරේ ඔබ මොබ ඇවිද්දේ කියන්නට බැරි තරම් සන්තෝසයකිනුයි. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විතව ඉතා හොඳින් සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශනය ඇත්තටම අප රට සතු සම්පතක් කියලා හැම සිතකම හැඟී යනවා නොඅනුමානයි.

බාල, තරුණ, වැඩිහිටි කියලා භේදයකින් තොරව හරි හරියට පොත් තේරීමෙහි නිරතව සිටි පිරිස දෙස බැලුවම අනාගතය ගැන සිනහ පහල කරන්නට පහසුවෙන්ම හැකියාවක් ලැබෙනවා. කුඩා ළමයි පාසැල් පොත් තෝරද්දී තරුණයන් නවකතා කෙටිකතා සාහිත්‍ය විචාර ආදිය තෝරනවා. ඔය අතරේ වැඩිහිටි අය බොදු පොත පත අරගෙන එහෙට මෙහෙට පෙරලමින් පිටු අතරේ සිය දුරුවල නෙත් ඔබ මොබ ගෙනයනවා.

ඇත්තටම පුදුම සතුටක් තමයි හිත ඇතුලේ මෝදු වෙන්නේ. මෙවන් අගනා ප්‍රදර්ශනයක් මම නම් දකින්නේ යුගයේ අවශ්‍යතාවයක් වගේම අනාගතයට රන් දොරටු විවර කිරීමක් විදිහටයි. ටිකෙන් ටික අඳුරෙන් වටපිටාව වෙළාගනිද්දී අපි ගෙවල් වලට යන්න සැරසුනේ පැමිනෙන සතියේදී නැවතත් පොත් ගන්නට යන්න කතිකා කරගනිමිනුයි. කියපු විදිහටම අපි නැවතත් ප්‍රධර්ශනයට ගිහින් අපිට අවැසි පොත් කීපයක්ම මිලදී ගත්තා.

මිනිසා සම්පූර්ණ අයෙකු කරනට කියවීමේ වැදගත්කම කොතරම් බලපාන්නේදැයි එතැනට ගිය හැම කෙනෙකුටම සිතෙන්නට ඇතුවාට කිසිම සැකයක් නැහැ. ඇත්තටම එහෙම බැලුවම මෙය වාර්ෂික සුහද හමුවක්ම තමයි, එහෙම නේද?

තරුණ පරපුර සහ අධ්‍යාපනික උන්මාදය..

ටික කාලයක් තිස්සේ පැවති නිහැඬියාවකට පස්සේ, ඕං ආයෙමත් මම ලියන දෙවෙනි සටහන. කල්පනා තුලින් මම ඇති කරගත් සහෘද පිරිස ටිකෙන් ටික මා වෙතින් ඈත් වන හැඩක් නම් පෙනෙන්නට තිබුනත් ඔවුන් කිසිදිනෙක මගේ සටහනක් නොකියවා නොයනු ඇතියි කියලා මට විස්වාසයි. ගොඩාක් කාර්ය බහුල ජීවිතයකට කොටුවෙලා ඉඳීම තුල ම සිංහල යතුරු පුවරුව පවා දැන් අමතකවෙලා ගිහින්. ඒ දේවල් කොහොම වුනත් මගේ සහෝදර සහෝදරියන් ගොන්න නම් ලේසියෙන් අමතක කරන්න බැහැ.

ඉතින් මම මගේ සටහනට පුංචි පූර්විකාවක් විදිහට මේ වගේ කියමනක් උපුටා ගන්නම්. “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” කියලා කියමනක් අපි අහලා තියෙනවනේ. ඉතින් ඒ තුලින් කියවෙන්නේ අද උගත් දේ තුලින් හෙට දවස යහපත් එකක් කරගන්නට පිටුවහලක් ලැබෙන බවයි. අද සමාජයට මෙම කියමන කොයිතාක් දුරකට අදාල කරගන්න පුලුවන්ද යන වග දෙවරක් සොයා බැලිය යුතු කාරණයක්.

මට මේ දේවල් ගැන ලියන්නට ඔලුවට එකපාරටම අදහසක් ආවේ පසුගිය දින කීපය තුල අත්විඳි අත්දැකීමක් ගැන මෙනෙහි වෙච්ච නිසාමයි. මම ජීවිතයේ සතුටු වන කාරණා අතර එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව නම් මට ආදි නාලන්දයීයයෙක් වෙන්නට ලැබීම ගැනයි. ඉතින් මේ කියන්න යන කාරණාවත් පසුගිය දින කීපය තුල නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද අධ්‍යාපනික ප්‍රදර්ශනය පිලිබඳවයි. http://www.futureminds.lk/

ජාතියේ ඉගනීමේ පිපාසය කෙතරම්ද කියන කාරණාව බොහොම පැහැදිලිව පසක් කර ගන්නට එතනට ගිය ඕනෑම කෙනෙක්ට හැකිවන්නට ඇතැයි මම තරයේම සිතන කාරණයක්. මක් නිසාද කිව්වොත් දෙමව්පියන් මිතුරු මිතුරියන් පිරිවරාගෙන වැල නොකැඩී ඇදී ආපු ඒ ජන ගඟින් ඒ බව මනාව ඔප්පු වුනු නිසයි.

ඔවුන් දිහා පැත්තකට වී බලා ඉන්නට මගේ සිත තුලින්ම මතුවුනු කැමැත්ත මෙතෙකැයි කියන්නට බැරි තරම්. ඔවුන් විටෙක දැනුම සොයා යන උන්මත්තකයන් පිරිසක් ලෙසින්ද හඳුන්වා දෙන්නට පුලුවන්. මේ ඇදී එන්නේ ලාංකික අනාගතයේ සාඩම්බර කොටස්කාරයින් සමූහයක් නේද යන කාරණය මට වඩ වඩාත් පසක් වූයේ ඔවුන් ගේ දෑස් තුලවූ බලාපොරොත්තු එතරම් ම පැහැදිලි ව පිටතට පිලිඹිඹු වූ නිසාමයි.

ඒ දේවල් ඒ විදිහට සිත්හි රඳවගන්න ගමන් ම නූතන අධ්‍යාපන රටාව ගැන මම මේ විදිහට පිවිසුමකට එන්නම්.

අද කාලේ පහ වසරට පාස්වෙන දරුවෙක් බැරිවෙලාවත් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, බොහෝ වෙලාවට අපි තුල උත්තර නැති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි කියන කාරණාවට ඔයා මං එක්ක එකඟ වෙයි. පැරණි නිර්දේශයට අනුව නම් 11 වසර සිසුන් ඉගෙන ගත්ත දේවල් දැන් දැන් 8 වසර මට්ටමට ගෙනැවිත් තියෙන හින්දම පාසලෙන් නික්මෙන දරුවෙක් දැනුමෙන් ඉහල නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.

හැබැයි හැම දේකම හොඳ පැත්තක් වගේම අපිට නොපෙනෙන නරක පැත්තකුත් නැතුව ම නෙවෙයිනෙ නේද? මේ විදිහට විශාල දැනුම් සම්භාරයක් දරුවන්ගේ හිස් මත තැබීමෙන් ඇතැම් වෙලාවට ඔවුන් තුල ඇතිවන්නේ යාන්ත්‍රික බවක් වෙන්නට පුලුවන්. ඇතැම් වෙලාවට උකහා ගැනීමේ ශක්තිය, සිතීමේ / තීරණ ගැනීමේ ශක්තිය වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී පවා ඔවුන් දුරුවල වීමේ අවදානමක් මෙ මඟින් පෙන්නුම් කරනවා.

අනිත් බරපතලම කාරණාව වන්නේ දරුවන්ගේ බර දෙමව්පියනුත් හරි හරියට ඇදීමයි. පාසල් යන දරුවෙක් ඉන්න පවුලක දෙමව්පියන්, දරුවා හා සමානවම හෝ ඊට අඩු වැඩි වශයෙන් විෂය කාරණා පාඩම් කිරීම සුලභ කාරණයක්. මම දකින විදිහට නම් මේ තත්ත්වය මෑත කාලීනව වඩ වඩාත් ජනප්‍රිය වූවක් බව කියන්නට පුලුවන්. වාර විභාග පවත් වන දවස් වලට කන්තෝරු බහුල ලෙස පාලුවට ගිය ස්වභාවයක් ඉසිලීමත් මේ නිසා සිදුවන්නක්.

ඇතැම් වෙලාවට මේ දේවල් ගැන ඔයාටත් පෞද්ගලික අත්දැකීම් ඇති. කොහොම වුනත් සමාජය හැඩ ගැසෙන විදිහට අපිත් හැඩ ගැසෙන තත්ත්වය අප කාටත් පොදුවූ දෙයක්. මගේ මතයට අනුව නම් නූතන දරුවා දැනුම අතින් පරිපූර්න පුරවැසියෙක් කරන අතරම ඔහුව පසෙකින් ඉඳන් දක්කන විට පමණක් පාඩම් වැඩ කරන රොබෝ වරයකු නොකිරීමටද අපි සැම විටම වගබලා ගත යුතුයි.

ගාන්ධි තුමන්ගේ අතීතය වෙන්දේසි කිරීම

නැවතත් වතාවක් සටහනකින් මුණගැහෙන්න ලැබීම ඉතින් මොනතරම් වටින කාරණයක්ද. මේ සටහන ලියන්න තරම් සිතින් දුකට පත් වෙන්න සිදුවීම නම් තරමක අමිහිරි අත්දැකීමක්. කොහොම වුනත් මම මේ කියන්නට යන කාරණය නම් ලෝක අතීතය ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙකුටම වඩාත් සමීප, ඒ වගේම වැදගත් කරුණක් වනවාට කිසිම සැකයක් නැතිතරම්.

පසුගිය දිනෙක මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු මහා වෙන්දේසියක  තොරතුරු පාදක කරගනිමිනුයි මම මේ සටහනට ප්‍රවේශයක් ලබා ගන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුනු මෙම වෙන්දේසියේ තිබූ භාණ්ඩ අතර, මගේ අවදානය ඇද ගැනීමට සමත් වූ පුදුම සහගත භාණ්ඩ කීපයකුත් අතරින් පතර දකින්නට ලැබුනා.

“මේවා කොහොමද මෙතනට ආවේ” යනුවෙන් මගේ මුවින් වදනක් පිටවුනේ මටම නොදැනීමයි. නිදහස් ඉන්දියාවේ පියා ලෙස සලකන ඒ උත්තරීතර මහත්මා ගාන්ධි තුමන් පරිහරණය කල භාණ්ඩ වලින් බොහෝ වැදගත්වූ භාණ්ඩ කීපයක්ම මේ වෙන්දේසිය සඳහා ඇතුලත්ව තිබුනා. මේ දේවල් මොන ආකාරයකට වෙන්දේසියකට ඇතුලත් වුනේද කියා නිසි වැටහීමක් මට නොතිබුණත්, රටකට නිදහස ලබාදුන් පියෙකු පරිහරණය කල භාණ්ඩ තම මවමෙන් රැක ගැනීම එතුමන්ට දක්වන්නට හැකි ඉහලම ගෞරවය ලෙසයි මගේ හැඟීම.

මීට නොබෝ දිනකට ප්‍රථම ලැබුණු ඉන්දීය සංචාරයක අතරතුරදී,  මුම්බායි නුවර පිහිටි ගාන්ධි තුමන්ගේ නිවස නැතිනම් ආශ්‍රමය නැරඹීමට මට අවස්ථාවක් ලැබුණි. එහිදී දැනගන්නට ලැබුණු කරුණු අනුව එතුමන් එංගලන්තයේ බැරිස්ටර් උපාධියක් පවා තිබියදීත්, තම මව්බිම වෙනුවෙන් ඒ හැමදෙයක්ම කැපකරමින් පිරිසිදු නිදහසක් ලබා දීමට දැඩි ලෙස අරගල කර තිබුණි.

එතරම් විශාල මෙහෙයක් කල උත්තමයකුට ඉතා උත්තරීතර ලෙස සැලකිය යුතුය යනවග ඉන්දීයයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ. ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක වටිනාකමක් මෙම භාණ්ඩ සඳහා නියමවී තිබුණා. කොහොම නමුත් වෙන්දේසියේදී එම භාණ්ඩ මිළදීගෙන නැවත සිය රටට භාර දීමට කටයුතු කල විජේ මලයා නම් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට අප හැමගේ ස්තූතිය ප්‍රණාමය පුදකල යුතුමයි.

තමන් උපන් රටට ජාතියට ආගමට වගේම තමන්ට නිදහස දිනාදුන් වීරවරයින්ටද ආදරය ගෞරවය නොඅඩුව දැක්වීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් ලෙසයි මගේ හැඟීම.