ඇයද පටාචාරාවකි..

woman_newසමාජ අසාධාරණය ස්ත්‍රියකට සිදුවූ තැන ඇය වරදට පෙළඹුණ ස්ත්‍රියක් ලෙසට හංවඩු ගැසීම අපි කලක් තිස්සේම අත්විඳින කාරණාවක්. නූගත්කම, දිළිඳුකම, දෙමව්පිය ආරවුල් ආදී නොයෙකුත් කාරණා හේතුවෙන් තමන්ගේ අතිශය සුන්දර වූ ළමාවිය සිහිනයක්වී බොඳව යන දෙස බලාගෙන සුසුම් හෙලනවා විනා ඔවුන් වෙන කුමක් කරන්නද? බොහෝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තන රැසක් සිදුවෙමින් ඇවිත් අද වනවිට අපි නතරවී සිටින සමාජ ක්‍රමය තුලදී ස්ත්‍රියකට වන අසාධාරණකම් වල නම් කැපී පෙනෙන අඩුවක් නැහැ.

තමන් මේ ලෝකයට බිහිකරන දෙමව්පියන් වැරදි කරන තාක් ඒ වැරදි වල පලවිපාක විඳින්න සිද්ධ වෙන්නෙ දරුවන්ට වීම කණගාටුවට කරුණක්. කොහොම නමුත් මේ විදිහෙ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙන්නේ ගැහැණු ළමයෙක් නම් ඇයගේ දෛවය බොහෝවිට අඳුරු අගාධයක් දක්වා ඇයව ගෙන යන්නේ ඇයටද නොදැනීම හොර රහසේමයි. ඒ වුනත් මඩෙහි ඉපිද මඩෙන් ගොඩට විත් ලස්සනට පිපී හිනැහෙන මානෙලක විලාසෙන් තමන්ගේ දිවිය සාර්ථක කරගන්නා දිරිය ලඳුන්ද ඔය අතරේ සිටින වගත් සඳහන් කල යුතුමයි.

කොහොම නමුත් ඔය ප්‍රශ්නය දෙස සානුකම්පිතව බලන අවස්ථා වගේම අසාධාරණ ලෙස බලන අවස්ථාද කොතෙකුත් අපට දකින්නට අහන්නට ලැබෙනවා. ඒවා අතරින් සමාජ අසාධාරණය හේතුවෙන් වරදට පෙළඹුණ ස්ත්‍රියක් දෙස අතිශය සානුකම්පිත ලෙස බැලූ බොහොම අපූරු ගීතයක් ගෙනහැර පෑ හැකියි.

තමා අහම්බෙන් දුටු රූමත් ළඳක තුලවූ ආත්මීය විලාපය, මනා ලෙස ගැලපීම තුලින් ගී පද වැල් ඔස්සේ රසික දනන් සිත් සන්තානයන් දක්වා ඒකාකාරීව සංසරණය කරන්නට ගීත රචකයා ගත් නොමඳ වෑයමක අග්‍ර ඵල නෙළීමක් ලෙස මෙම ගීතය හඳුන්වා දිය හැකිය. ඔහු වෘත්තියෙන් නීතීඥයෙක් ලෙස කටයුතු කරන අතරතුර දී, අහම්බෙන් හමුවූ රූමත් ළඳක් තම ගීතයට වස්තු බීජ කරගන්නා අතරම, ඇය තුලින් බුර බුරා නැගී ආ දෛවයේ කුරිරු ගිනිදැල් දෙස අතිශය සානුකම්පිත බැල්මක් යොමුකිරීමටද අමතක කරේ නැත.

ඔහු නමින් රංබණ්ඩා සෙනෙවිරත්න නම් වූ අතර ඔහුගේ ජීවිත අත්දැකීම් තුලින් බිහිවූ මේ අපූරු ගීතය “ළඳුනේ” ගීතයයි. නඩුවකට පෙනී සිටින්නට නුවර ගොසින් සිටි දිනයක සවස් කාළයේ, දළදා මාළිගයට ගිය මොහොතක දුටු, සුදු වතින් සැරසුණු රූමත් ළඳකගේ පාපී ජීවිතය ඔහු උකහා ගත් ආකාරය මැනවින් පිළිඹිඹු කරන්නට ඔහුට හැකිවී ඇත.

තමා උපතින්ම ලද තම රූ සපුවත් සමාජීය අසාධාරණයත් හේතුවෙන් ඇයට තම පවිත්‍රත්වය අහිමිවූ මොහොතක තම දුක් ලතැවුල් දුරු කරගන්නට දළදා හාමුදුරුවන්ගේ පිහිට පතනවා විනා කලහැකි විකල්පයක් ඈ සතු නොවීය. සමාජීය පිලිගැනීමට අනුව අභිසරුලියක් කියු පමණින්ම ඇතිවන්නාවූ ප්‍රතිචාරය කෙතරම් අමිහිර එකක්ද යන වග ඉතින් වෙනමම කියන්නට ඕනෑ නැති තරම්. එවන් සමාජීය පිලිගැන්මක් තිබුනද, ගීත රචකයා විසින් තම සිත්හි උපන් සිතුවිලි එකින් එක එකින් එක ගලපමින්, රසික සිත්තුල වන් අදහසට මඳකට නැවතීමේ සලකුණක් තබන්නට දැරූ වෑයම මනාව කැපී පෙනෙන තැන් කීපයක්ම ගීතය පුරාවට දැකගත හැකියි.

තම සිත තුලින් රචකයා දුටු ඇගේ දෛවය, ලොව හමුවේ හඬගා කියනට අමරසිරි පීරිස් තුල වන් ප්‍රතිභාපූර්ණ හඬ සමත් වී ඇත්තේ ගීතයට සර්ව සම්පූර්ණ බවක් එකතු කරමිනුයි. ඒ විතරක්ද නොව අප අතරින් නොබෝදා නැසීගිය, “සංගීත මාවතේ දිදුලන පහන් ටැඹ” බඳු පේමසිරි කේමදාසයන්ගේ සප්ත ස්වර තුලින් නැගි අපූර්වත්වයේ පහස විඳින්නට මෙම ගීතයට හැකිවීම තුලින්ද අපට ගීතයේ ඇති සංගීතාත්මක අලංකාරය වටහා ගත හැකිය.

බුදුන් සමයෙහි සිටි පීඩිතයන්ගේ ඉරණම් වල වර්තමාන පිලිඹිඹුව මනාව විදහා පෑමට සමත් මෙම අපූරු ගීතය, සකල ලෝක වාසී පීඩිත සිත් සතන් සනහාලනු පිණිස, අකලට බට මහා වරුසාවක්ම වේවා!

මා..සනසා මා..නලවා බැසගිය සොඳුරු ගීයක හිරු කිරණ…

missuහදවත සසල කරන්න හේතුවුන ආරංචියක් ගැනයි මේ සටහන තබන්නට සැරසෙන්නේ. මම හිතන්නේ හදවතේ තිබෙන සංවේදීම හැඟීම වන ආදරය වෙනුවෙන් ගැයුන ගීතයන්ට ආදරය කරන ඕනෑම අයෙකුට නම් මම කියන්න යන කාරණයෙහි ආගන්තුක බවක් නැහැ.

ඔහුව අප ආදරයෙන් වැළඳගන්නේ ඇතැම්විට ඔහුගේ නමවත් හරියට නොදැන වුනත් “මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි” යන ගීතයට අප ආදරය කරන හැම මොහොතකම ඒ ආදරය වක්‍රව හිමිවුනේ ඔහුටමයි. ඔහු නමින් මර්වින් ඇලෝසියස් පෙරේරාය. ඔහුගේ සුන්දර ගීතයෙහි නිබඳ රසිකයෙක් වූ නිසාවෙන් ඔහු හට උපහාරයක් ලෙස මගේ හැටවන සටහන මෙලෙස දිග හරින්නම්.

පයාගල ප්‍රදේශය තම ගම්බිම් කරගත් මේ සොඳුරු මිනිසා, සංගීතයේ පහස ලද පවුලක උපන් නිසාවෙන්ම තම ජීවන මාවත සංගීතය තුලින්ම සොයා ගැනීමට සමත් වුණා. තම පියාවූ හර්මන් මාස්ටර් යටතේ තම සංගීත ජීවිතයට අත්පොත් තැබූ ඔහු කල් යත්ම පයාගල දේවමෑණියන්ගේ දේවස්ථානයේ මාස්ටර් තනතුරටද පත්වුනා. එතැනින් නොනැවතුන ඔහු ගුවන් විදුලියට සම්බන්ධවී A ශ්‍රේණියේ ගායකයෙක් ලෙස කටයුතු කරා සේම ඉතාමත් දක්ෂ වයලින් වාදකයෙක් ලෙසද කීර්තියට පත්වුනා. ඉතා දිගුකාලයක් තමා ඉගෙනගත් සංගීතය දරුවන්ට කියාදෙන ආදරණීය ගුරු පියෙක් වන්නටද ඔහුට හැකිවීම, ඇත්තටම ජාතියට ඔහුකල සේවය පිලිබඳව දියහැකි හොඳම නිදසුනක් කිව්වොත් නිවැරදියි.

ඔහුගේ ගීත අතරින් මම වඩාත්ම ප්‍රියකරන ගීත අතරට “මේ නගරය” “මා සනසා” “රන්මීවිත පුරවා” “ඔබ දේදුන්න ආකාසයේ” වැනි සුන්දරම ගීත ගොන්නක් අදටත්, මේ සටහන ලියන මොහොතටත් මාහද රැව් දෙන්නේ ඒවායේ ඇති සොඳුරු බව නිසාමයි. ඔබටත් ඒ දේ එහෙමමයි නේද?

අපේ රටේ තිබෙන සරසවි අතරින් සොඳුරුතම සරසවිය වස්තුබීජ කරගෙන ලියැවුනු “මේ නගරය” ගීතය විශේෂයෙන්ම එම සරසවි සිසුන්ට වගේම එහි දිනක් හෝ ගතකරපු කෙනෙකුටද තම අතීතය මතක් කරදෙන්නේ නෙත් කොනට කඳුලක්ද නංවමින්. සොඳුරු අතීතයෙ නිමල පැතුමවී තමා ලඟ ආදරයෙන් වෙලී සිටි ඔහු හෝ ඇය පිලිබඳ මතකය හදවතට කැඳවා ගෙන එන්නට එම ගීතයේ පද වැල පමණක්ම නොව, ඔහුගේ කට හඬෙහි ඇති ප්‍රතිභාවද එකසේ ඉවහල් වී ඇති බව නම් නොරහසක්.

ඔහු ගැයූ ගීත අතරින් මම වඩාත්ම ආදරය කරන “මා සනසා” ගීතයෙන් කොටසක් මෙලෙස සටහන් කරන ගමන්ම මගේ සටහන මෙතනින් නිමා කරන්නේ අප අතරින් සදහටම වෙන්වන ඔහුට මෙලෙස ප්‍රණාමය පුද කරමින්.

මා ගතකල  කෙටි ජීවිත කාලයෙහිදී

ඔබ ගැයූ ගීතයන්ගේ රසයන් විඳීමට හැකිවීමද
රසවත් හැඟුමකින් සිත නිබඳව සරසවයි
ඔබ අප අතරින් වියෝ වුනද
ඔබගේ හඬේ තිබෙන ප්‍රතිභාව
සැමදා අප හදවත් තුලින් ඈත් නොවී සදාකල් පවතිනු ඇත.

ඔබට නිවන් සුව!

මා සනසා..
මා නලවා..
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයදී..

විතක් මදු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා..
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා..
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුසුවෙලා..
සිහින ලොවක පාවේ..
සඳුන් සිහිල යාවේ..

මා සනසා..
මා නලවා..
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයදී..

උසස් කියවීමේ රුචිකත්වය සහ කොළඹ අන්තර්ජාතික පොත් දැක්ම..

අද සෙනසුරාදා දවස. කල්පනා තුලින් මම ගෙන එන පනස් නව වෙනි දිගහැරුමයි මේ. දැනට ම විසින් ඔබ හමුවේ තැබූ සටහන් වලට ලැබුනු ප්‍රතිචාර නම් ඇත්තෙන්ම සතුටුදායකයි. ටික කාලයක් නිහඬව ගත කරත්, ලියන්නට තියෙන ආසාව නම් ඉතින් පොඩ්ඩකින්වත් අඩුවක් නම් සිදුවෙලා නැහැ. කොහොම වුනත් මම මගේ මේ සටහනට පොඩි පිවිසුමක් ගන්නම් අපි කවුරුත් හොඳින් හඳුනන කියමනකින්.

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන කියමන අපේ ජීවිතයට කෙතරම් දුරකට සම්බන්ධ කරගෙන තියෙනවද කියන එක ගැන පොඩ්ඩකට හිතලා බලන්න. ඇත්තෙන්ම ඔබේත් මගේත් කියවීමේ ආසාව ගැන නම් ඉතින් සැකයක් ඇතිවෙන්නට හේතුවක් නැතිවුනත් ජාතියක් රටක් ලෙස සැලකුවම කියවීමට ඇති රුචිකත්වයේ ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීම නම් තරමක අපහසු කාරණයක්.

පුරාණ කාලයේ සිටම පොතපත පරිහරනය කිරීමට අපේ මුතුන් මිත්තන් පුරුදු පුහුණු වී සිටි නිසා, කාලාන්තරයක් තිස්සේ ලද අත්දැකීම් තුලින් ඉපදුනු කියමනක් තමයි මේ කියමන.

ඇත්තෙන්ම පොතක් පතක් කියවීම තුලින් තමන් නොදන්නා මොනයම් හෝ දෙයක් ගැන යම්කිසි අදහසක්වත් ඇතිකරගන්නට හැකියාව ලැබෙන බව නම් නොරහසක්. නමුත් අද කාලය ගැන සැලකුව විට කියවීම විතරක්ම මිනිසා සම්පූර්ණ කරන්නට හේතු වෙන්නේ නැහැ. කාලයත් සමඟම නව තාක්ෂණයත් විද්‍යුත් මාධ්‍යයේද වැඩි දායකත්වයක් ඒ සඳහා ලැබීමත් කැපී පෙනෙන කාරණයක්.

උදාහරණයක් විදිහට “ඩිස්කවරි” චැනලය දක්වන්නට පුලුවන්. “ඩිස්කවරි” චැනලය මගේ නම් ජීවිතයේ හමුවුනු මම වඩාත්ම ප්‍රියකරන නොවරදවාම නරඹන චැනල අතරින් එකක්.
ලෝකයේ නානාවිද සොයා ගැනීම් පරීක්ෂණ වගේම විවිද රටවල් ස්ථාන පිලිබඳ තොරතුරුද ගොන්නක් එකට කැටිකර ප්‍රේක්ෂක අප වෙත ගෙන ඒම අතින් එම චැනලය ඉතා පොහොසත්. ඒ දේ කොහොම වුනත් කතාවෙන් කතාව මම මාතෘකාවෙන් පිට පනින හැඩක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

හරි ආයෙත් එමු කියවීම පැත්තට..ඉතින් මම කියවීම ගැන මෙච්චර වෙලා කෙතරම් කතාකරත් මාව මෙම සටහන ලියන්නට පෙළඹ වූ කාරණාව ගැන කිසිම දෙයක් සඳහන් කරේ නැහැනේ. ඔන්න ඉතින් ප්‍රදර්ශණය ඉවරවෙලා ගොඩාක් කල් ගතවුනත් කොළඹ අන්තර්ජාතික පොත් දැක්ම නිසා තමයි මේ වගේ හෙඩිමකින් මගේ සටහන හැඩ කරන්නට මට සිත්වුනේ.

දින ගණනාවක් පුරා කොළඹ BMICH හිදී පැවති මේ අතිදැවැන්ත පොත් දැක්මට ආපු පිරිසනම් අදහා ගන්නත් අමාරුයි. දින දෙකක් පුරාවට පොත් දැක්මට ගිය මගේ සිත ගත නෙත විඳි වින්දනයනම් ඇත්තටම පුදුමාකාරයි. ඉහල මාලයට වෙලා සැහෙන වෙලාවක් මේ එක දිගට තොරතෝන්චියක් නැතිව ගලන කියවීමේ රසික ගංගාව දෙස ඇසිපිය නොසලා බලා සිටි මාහට ඇතිවුනේ හුදෙක් සතුටකටත් වඩා අභිමාණයක් කීව්වොත් නිවැරදියි.

ගෙවීගිය සමයේ මම ඉන්දියාවේ ගතකල කාලය තුලදී ඔවුන් තුලින් දුටු කියවීමේ ලොල්බවට නොදෙවෙනි ලොල්බවක් මම එදා දුටුවේ මේ පුංචි ලංකාවේ අනාගතය දැක සතුටු වෙමින් වගේම ලෝකයා හමුවේ බැබළෙන ජාතියක කොටස් කරුවකු වීමට මටද ලැබී ඇති අවස්ථාව ගැන සියුම්ලෙස ආඩම්බරයක්ද වෙමින්. මෙතරම් පොත් මිලදී ගන්නා ජනකායක් ගොදුරකට පොරකන ගිජුලිහිණි රෑනක් වාගේ ඇතට දිස්වෙද්දී ඒ දෙස බලමින් සතුටු වෙනවා විනා වෙන කුමක් කරන්නද නේද?

කොහොම වුනත් කියවීම තුලින් ජීවිතය ජයගත් පිරිස නම් අනන්තයි. පාසැල් අධ්‍යාපනය නිසියාකාරව ලබන්නට වරම් නොලැබුනත් පසුකාලීනව කියවීම් පොතපත පරිශීලනය කිරීම් තුලින් බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන් වන්නට වරම් ලබාගත් පිරිසත් බොහෝය. කියවීම දරුවන්ට හුරු පුරුදු කිරීමෙහි ලා වැඩි වගකීමක්, සැමවිටම වැඩිකාලයක් ඔවුන් හා ගතකරන ආදරණීය ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට පැවරී ඇත. එලෙසම දෙමව්පියන්ටත් වැඩි වගකීමක් සැමවිටම පවතියි. කියවන දේවල් වල ගුණාත්මක බවක් තිබීමද තවත් වැදගත් කාරණයක්. ඉතා උසස් රසවින්දනයක් ඇති ජාතියක් බිහිවන්නටද එක හේතුවක් විදිහට එය දක්වන්නට පුලුවන්.

කියවන ජාතියක් අභියස ඉන්නම් සදාකල්
දුකක් නොදැක සතුටක් මිස වෙන කිසිත් නොදැනේ
නොකා නොබී හෙට මියැදුනත් සැපයි මට මේ දෙරණේ
උගත් ජාතියක දූලි පොදක් වී..ඉන්නට සදා මේ පොලොවේ

ඔබගේ නුවණ වැඩේවා!
ආයුබෝවන්!

-සමබර-

ඉකිබිඳියි මතකයන් රහසේ…

being-aloneසොඳුරු මාවත් ඇවිද ගියතැන් සිත්හි කොනකට තද කරන්…
ගිය මගෙහි ඈ අද ද පියමං කරයි දුක සිර කොට අරන්…
කතා කල දෑ දෙකන රැව්දෙන විටෙක හදවත පාරවන්…
ඇයගෙ මතකය නැවත දිවයයි ඔහුගෙ තුරුලෙහි ඉඩ අරන්…

වසින වැස්සට බොඳව ගිය පොත් මිටිය ලැමඳට තුරුලු කරමින්…
තබයි එක දෙක පියවරක් අද තනිව ගිය සිත කඳුලු සලමින්…
එදා ඔහුගේ තුරුලෙ රැඳෙමින් වදන් තෙපලූ පුංචි මුවගින්…
කිසිඳු වදනක් අවදි නොකරයි ගොලුවෙලා මුව නිහඬ කරමින්…

මැයි මහේ ගස් මලින් පිරිලා තිබූ දිනයක ඔහුව සිප ගෙන…
එකම කුඩයක් බෙදා ගනිමින් අතක් බඳවට දවට ගනිමින…
තුටින් හදවත ගැහෙන රාවය පවා සිත තුල තුරුලු කරමින…
ගිය එදා හද උමතු කරවයි කඳුල නෙත් කොන සඟව ගනිමින…

සිනා පිපෙනා වසත් සමයක පුංචි පා යුග ගෙවා දමමින…
පිය නැගූ මල් මාවතක ඈ යන්නෙ තනිවම සුසුම් හෙලමින…
මගදි දුටු පෙම්වතුන් තුල වන් පෙමක මිහිරැති සුවඳ විඳිමින…
තනිව නිවඬව ඉකි බිඳී ඈ ලොවට රහසින් දුක් සඟවමින…

තනිව ඇත ඇය මරා දමමින් අහිමි වී ගිය රුදුරු ප්‍රේමය…
නැවත වරකුදු සිතෙහි නොම එනු ඇතිය ඇය දුටු නපුරු සිහිනය…
කිසිඳු තෙතමනයක් නොලද මුත් ඔහුට පෑ ඒ සොඳුරු ප්‍රේමය…
දිවියෙ දිනයක සැබෑ වනු ඇත හදෙහි රැඳි ඇගෙ සොඳුරු සිහිනය…

-සමබර-